2026 මාර්තු 11, ප.ව. 6:31
ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ගෑස් මිල ඉහළ යාම රජයට පාලනය කළ නොහැකි බාහිර සාධකයක් වුවද, රටේ මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුකරමින් උද්ධමනය පාලනය කර ඇති බැවින් මෙයින් මෙරටට දැවැන්ත උද්ධමනකාරී බලපෑමක් එල්ල නොවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය සැලසුම් කළ පරිදි රටේ උද්ධමනය පාලනය කරමින් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බවයි.
2025 වසරේ උද්ධමනය බිංදුව මට්ටමේ පවත්වාගෙන යාමට හැකි වූ අතර, 2026 පෙබරවාරි වන විට එය පවතින්නේ සියයට 2.1 ක මට්ටමක බවත්, එය රජය ඉලක්ක කළ සියයට 5 ක සීමාවට වඩා බෙහෙවින් අඩු මට්ටමක් බවත් ඔහු සඳහන් කළේය.
මෙවැනි ස්ථාවරත්වයක් පවතින පසුබිමක හදිසියේ ඇති වන මිල ඉහළ යාම වැනි බාහිර බලපෑම් (shocks) නිසා ආර්ථිකයට විශාල හානියක් සිදු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
වෙළඳපොළේ පවතින හිතුවක්කාරී මිල වැඩි කිරීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, තෙල් මිල වැඩි වූ සැනින් භාණ්ඩ හා සේවා මිල අසාධාරණ ලෙස ඉහළ නැංවීම මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවක් ලෙස තමන් දකින බවයි.
සාමාන්‍ය ජනතාවට බලපාන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නැංවීමට කටයුතු නොකරන ලෙස ඔහු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම තත්ත්වය පාලනය කිරීමට සහ වෙළඳපොළ නිරීක්ෂණය කිරීමට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කර ඇති බවත්, පවතින නීති රීති පද්ධතිය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්ධන හෝ ගෑස් හිඟයක් ඇති වේ යැයි අනවශ්‍ය බියක් ඇති කරගෙන භාණ්ඩ ගොඩගසා ගැනීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා, එවැනි ක්‍රියා නිසා වෙළඳපොළ තුළ අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය විය හැකි බව ද කියා සිටියේය.
පාරිභෝගිකයා, ව්‍යාපාරිකයා සහ බෙදාහරින්නා යන සියලු දෙනා සාමූහිකව වගකීමෙන් වැඩ කළහොත් පවතින ගැටලු අවම කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
මේ පිළිබඳව මහජනතාව නිසි ලෙස දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ඔහු මාධ්‍ය ආයතනවලින් ද ඉල්ලීමක් කළේය.
රටේ විදේශ විනිමය අනුපාතය නිසි ලෙස කළමනාකරණය කරමින්, ජනතාවට සිදුවන බලපෑම අවම කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05
2026 මාර්තු 11, පෙ.ව. 10:40
2026 මාර්තු 11, පෙ.ව. 10:31