hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 11:54



ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම සමාජ අභියෝගයක් වන මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම තුරන් කිරීමේ දැවැන්ත ජාතික මෙහෙයුම අද (30) දින උත්සවාකාරයෙන් ආරම්භ විය.

“විෂ මත්ද්‍රව්‍ය පරදන රටම එකට” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණේ නව සමාජ පරිවර්තනයක ආරම්භය සනිටුහන් කරමිනි.

මෙම අවස්ථාවට එක්වෙමින් ජාතිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, මුළු මහත් සමාජයම ගිල ගනිමින් පවතින මෙම මායාකාරී ව්‍යසනයට එරෙහිව සටන් කර එය පරාජය කිරීමට තම රජය තීරණයකට පැමිණ ඇති බවයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පැහැදිලි මංසන්ධියකට පැමිණි බවත්, එහිදී එක් මාවතක් වූයේ පැරණි දේශපාලන ක්‍රමය මෙන් මෙම ව්‍යසනය නොදුටුවා සේ සිටීම බවත්, අනෙක් මාවත වූයේ මෙම අභියෝගයට මුහුණට මුහුණලා සටන් කර පරාජය කරවීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“අපි තෝරාගත්තේ අභියෝගය භාරගෙන, මේ ව්‍යසනය සමඟ හැපී එය පරාජය කිරීමේ දුෂ්කර මාර්ගයයි,” යනුවෙන් සඳහන් කළ ජනාධිපතිවරයා, මෙම මත්ද්‍රව්‍ය විරෝධී සටන කිසිසේත්ම අතරමග නොනවතන බවටත්, එය නියත ජයග්‍රහණයකින් කෙළවර කරන බවටත් දැඩිව ප්‍රකාශ කළේය.

මෙම ජාතික මෙහෙයුම, රටේ අනාගතය වෙනුවෙන් තැබූ නොසැලෙන පියවරක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, මතුපිටින් පෙනෙන රාජ්‍යයට යටින් ක්‍රියාත්මක වන “කළු රාජ්‍යයක්” තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ නොතබන බවට අවධාරණය කළේය.

මින් පෙර දේශපාලන රැකවරණය මත යැපුණු මත්ද්‍රව්‍ය ජාලය, අද වන විට දේශපාලන බලයම අත්පත් කරගැනීමේ මට්ටමට වර්ධනය වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.

එම වැඩසටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: