hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2024 ජූනි 05, ප.ව. 1:38



අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථූපයේ සවිකොට තිබෙන ඉහළ වටිනාකමකින් යුත් අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ සිද්ධියට ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර ඇතුළු තවත් පුද්ගලයන් පස්දෙනෙක්.

සැකකරුවන් අතර සිටින ගායන ශිල්පියා පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සෙසු සැකකරුවන් මීරිගම, වැල්ලව, මහනුවර, පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අවුරුදු 23 ත් 56 ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් සියලුදෙනා උඩමළුව පොලිසිය විසින් පසූගියදා (03) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇති බව පොලීසිය පවසනවා.

අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ අකුණු සන්නායකයේ අකුණු තැන්පත් වන භූගත කොටසේ සවි කොට තිබෙන එම ලෝහමය කොටස ගලවා ඉවත් කරගතහොත් රුපියල් කෝටි පන්සියයකට පමණ විදේශීය ජාවාරම්කරුවන්ට අලෙවි කළ හැකි බවයි.

අනුරාධපුර පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෙම සැකකරුවන් ඊයේ (04) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.