hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 26, ප.ව. 4:00



ශ්‍රී දළදා මාලිගාවේ ‘ඇත් පන්තිය’ නරඹා අලි – ඇතුන්ගේ දෛනික චර්යාවන් අත්විඳිමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් සහය වීමට, දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ට හා විදේශීය සංචාරක පිරිස් සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.

කලෙක පටන් පැවැති දැඩි ඉල්ලීමක් අනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය හා ඇත්ගාල කාර්ය මණ්ඩලය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

ඇත්ගාල පරිශ්‍රයට පැමිණෙන ජනතාවට මාලිගාවේ ඇත් පන්තියේ දැවැන්තයන්ගේ ඡායාරූප ගැනීමටත් ඔවුන්ගේ දෛනික ආහාර වේල නරඹන්නන්ට, සියතින් ම ආහාර ලබා දීමටත් අවස්ථාව උදාකර දී ඇති අතර, අලි – ඇතුන් නෑවීමට ද ඔවුන්ට අවස්ථාව උදා කරදී තිබෙනවා.

කණ්ඩායම් වශයෙන් ‘ඇත් පන්තිය’ නැරඹීම සඳහා පැමිණෙන අයගේ වැඩසටහන් සඳහා අලි – ඇතුන් සම්බන්ධ කර ගැනීමට ද අවස්ථා උදාවන අතර යම් පිරිසකට ඇත්ගාල ඇතුළු ඔවුන්ගේ තටාක පරිශ්‍රය සිය ශ්‍රම දායකත්වයෙන් පවිත්‍ර කර දීමේ හැකියාව ඇත්නම් ඒ සඳහා ද අවස්ථාව ලබාදීමට ‘ඇත්ගාල’ කාර්ය මණ්ඩලය ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලබයි.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර නිලධාරි ප්‍රදීප් මියනපලාව කියා සිටියේ, ඇත් පන්තිය නැරඹීමට පැමිණෙන අය වෙත යම් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර එය හුදෙක් ම නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා වැදගත් වන බව ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද සඳහන් කළා.

“මෙවැනි උපදෙස් මාලාවක් ඇත් පන්තියේ නිලධාරීන් විසින් දෙනු ලබන්නේ, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නයි. පිටතින් රැගෙන එන ආහාර අපි මේ හස්තීන්ට ලබා දෙන්නට අවසර දෙන්නේ නෑ. එය අප විසින් ම සපයනු ලබනවා. මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගත යුතු යි. අනික දෛනිකව ලබා දෙන ආහාරවල සීමාවන් තිබෙනවා.”

මාලිගාවේ ඇත් පන්තිය මෙන් ම හස්ති පාලකවරුන්ගේ කටයුතු වෙනුවෙන් මාසිකව ලක්ෂ හතළිස් පහක පමණ මුදලක් වැය වන බව පැවැසූ ඔහු කිතුල්, කොස් වැනි ශාකයන් පිටතින් මිල දී ගැනීමට සිදු වී තිබෙන බව ද කියයි.