hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 03, ප.ව. 3:02



දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඇති බැංකු අංශයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්ම අනුපාත සහ ද්‍රවශීලතා ආවරණ අනුපාත දුර්වල නොකළ යුතු යැයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එවැන්නක් සිදුවුවහොත් ඒ තුළින් මහජන විශ්වාසය කඩවිය හැකි යැයි ද එසේ මහජන විශ්වාසයෙහි බිඳවැටීමක් විශාල ගැටලුවකට හේතුවනු ඇතැයි ද බැංකුකරුවන්ගේ සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

ස්චේච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන්නෙහි අර්ථය පැහැදිලි කරන්නැයි ඉල්ලා සිටින බැංකුකරුවන්ගේ සංගමය එම ක්‍රියාවලිය අදාළ වන්නේ කවර පාර්ශ්වයකට දැයි ප්‍රශ්න කර තිබෙනවා.

එසේ ම, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවත් කොවිඩ් – 19 වෛරස් ආක්‍රමණය හමුවේත් මහජන අපේක්ෂා භංගවීම් හමුවේ දේශපාලන බිඳවැටීම් අතරේත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී වාණිජ බැංකු සියල්ල ම ශ්‍රී ලංකා ආණ්ඩුවටත් මහ බැංකුවටත් අඛණ්ඩව සහාය දුන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

අතිශය දුෂ්කර තීන්දු අතරේ පවා බැංකුවල ස්ථාවරත්වය පවත්වාගෙන යාම ආර්ථිකය යථාවත් කිරීමෙහි මූලික කරුණක් වනු ඇතැයි ද එහි සඳහන් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මූල්‍ය වෙළෙඳපොළවලට බලගන්වන බැංකු අංශය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ප්‍රධාන යාන්ත‍්‍රණය යැයි ද ජාතික අවශ්‍යතා සඳහා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඉතා වැදගත් යැයි ද බැංකුකරුවන්ගේ සංගමය එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා බැංකු සංගමය යනු ශ්‍රී ලංකාවේ සියලු ම බලපත‍්‍රලාභී බැංකු නියෝජනය කරන ආයතනයයි.

රජය රුපියල් ට්‍රිලියන 8.8කට ආසන්න මුදලක් භාණ්ඩාගාර බැඳුම්කර හරහා දේශීය වෙළෙඳපොළෙන් ලබාගෙන ඇති අතර මේ ණයවලින් 44.5%ක් ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වෙනවා.

එයින් 43%ක් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල නියෝජනය කරද්දී 9%ක් රක්ෂණ අංශය නියෝජනය කරනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙකී මහජන අරමුදල් නියෝජනය කරන කොටස් සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම මේ වනවිට දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.