hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 15, ප.ව. 1:58



jica ආයතනය දුෂණ මර්ධන ව්‍යාපෘතියක් සඳහා 2023 වසරේ අවසන් භාගයේ ලන්සු කැඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් වීමෙන් පසු රුපියල් මිලියන 24ක අරමුදලක් එම සංගමයට ලැබී තිබුණා.

කෙසේවෙතත් අදාළ ලංසු තැබීමේ හා ගිවිසුම් වලට එළඹීමේදී පාරදෘශ්‍ය භාවයෙන් සහ විනිවිද භාවයෙන් කටයුතු නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, උප සභාපති නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ඩී අල්විස් සහ නීතිඥ රශ්මිනි ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සම්බන්ධ පාර්ශව කිහිපයක් පවසන්නේ එම අරමුදල එකී සංගමයේ විධායක කමිටුවේ දැනුවත් වීමකින් තොරව සම්පත් දායකයින් අතර බෙදා හැර ඇති බවයි.

ඒ අනුව නීතිඥ සංගම් සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාට රුපියල් මිලියන 06ක මුදලක්ද , උප සභාපති නලින්ද ඉන්දතිස්ස මහතාට රුපියල් මිලියන 03ක මුදලක්ද, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන 03ක මුදලක්ද ලෙස චෙක් පත් නිකුත් කර ඇති බව අදාළ පාර්ශව පවසනවා.

කෙසේවෙතත් නලින්ද ඉන්දතිස්ස මහතා අදාළ ගෙවීම ලබා ගැනීම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිසිදු නිර්ණායකයන් පෙන්වීමෙන් තොරව වැඩසටහනට සම්බන්ධ කර ගත් නීතිඥ නුවන් ඩී අල්විස් මහතාට සහ නීතිඥ රශ්මිනි ඉන්දතිස්ස මහත්මියට රුපියල් මිලියන 05 බැගින් ගෙවීම් සිදු කර ඇති බවද අදාල පාර්ශව පවසනවා.

කෙසේවෙතත් පසු අවස්ථාවකදී ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සහ නීතිඥ නුවන් ඩී අල්විස් මහතා සහ නීතිඥ රශ්මිනි ඉන්දතිස්ස මහත්මිය තමන් වෙත ලද මුදල් යළි පසු අවස්ථාවක නීතිඥ සංගමයට ලබා දී ඇති බව සඳහන්.

මෙහිදී නීතිඥ සංගම් සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාට එල්ල වී ඇති ප්‍රබල චෝදනාව වන්නේ ජයිකා මුල්‍ය ගනුදෙනුව පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව සහ Bar Council දැනුවත් නොකිරීමයි.

එවැනි පසුබිමක ඉකුත් මැයි 16 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටුවක් රැස් වී ඇති අතර එහිදී සාමාජිකයින් පිරිසක් මෙම ගණුදෙනුවේ විනිවිදභාවය දැඩිව ප්‍රශ්න කර තිබෙනවා.

අනතුරුව මැයි 18 වනදා ශ්‍රී ලංකාවේ සියලුම නීතිඥ සංගම් වල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති Bar Council යේදී ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැදි, ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න, ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය ඇතුළු පිරිසක් විනිවිදභාවයකින් තොර මෙම ගණුදෙනුව පිළිබඳව නීතිඥ සංගම් නිලධාරී මණ්ඩලයෙන් දැඩිව ප්‍රශ්න කර තිබෙනවා.

අදාළ Bar Council රැස්වීමේදී මුලසුන දැරීමට ද නීතිඥ සංගම් සභාපති කෞශල්‍ය නවරත්න මහතාට අවස්ථාව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම විනිවිදභාවයෙන් තොර ගනුදෙනුව දැඩිව විවේචනයට ලක් කරන අයුරු ද මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

පසුව Bar Councilයෙදී ඇති වූ එකඟතාවයන්ට අනුව මෙම ප්‍රශ්නගත ජයිකා අරමුදල් භාවිතය සම්බන්ධයෙන් විමර්ශනය කර මාස 02ක කාලයක් තුළ වාර්තා කිරීමට ජේෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කෙරුණා.