2025 නොවැම්‍බර් 10, ප.ව. 1:43
සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට සැකකෙරෙන රැඳවියෙකු, බන්ධනාගාරයක් තුළ ගංජා සුරුට්ටුවක් උරමින්, ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කරමින් සහ තවත් රැඳවියෙකු ලවා හිස සම්බාහනය කරගනිමින් සුවපහසුව කාලය ගතකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
මෙම දර්ශනවල සිටින රැඳවියා බූස්ස අධි-ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අයෙකු බවටද සමාජ මාධ්‍ය ඔස්සේ මත පළවී තිබිණි.
මෙම වීඩියෝ පටයේ, අදාළ රැඳවියා සිය ජංගම දුරකථනයෙන් සමාජ මාධ්‍ය නරඹන අතරතුර ගංජා සුරුට්ටුවක් පානය කරන අයුරුත්, තවත් රැඳවියෙකු ඔහුගේ හිස පිරිමදිමින් සම්බාහනය කරන අයුරුත් පැහැදිලිව දැකගත හැකිය.
රට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍යට එරෙහිව විශාල මෙහෙයුමක් සිදුවෙමින් පවතින මෙවැනි මොහොතක මෙම සිදුවීමත් සමඟ බන්ධනාගාර පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් සමාජය තුළ මතු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සමාජ මාධ්‍යවල පැතිර යන මෙම දර්ශන බූස්ස බන්ධනාගාරය තුළ සිදුවූවක් නොවන බවට එම බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් තහවුරු කර ඇති බවයි.
එසේ වුවද, මෙම සිදුවීම සිදුවූයේ කුමන බන්ධනාගාරයකද යන්න නිශ්චිතව හඳුනාගැනීම සඳහා, බූස්ස, ගාල්ල සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල අධිකාරිවරුන්ගෙන් කඩිනම් වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය.
2025 නොවැම්‍බර් 10, ප.ව. 3:41
2025 නොවැම්‍බර් 10, ප.ව. 12:50
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 8:52
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13