hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 26, පෙ.ව. 11:16



ශ්‍රී ලංකා  ගමනාගමන මණ්ඩලයේ 2021 වසරේ පාඩුව රු. මිලියන 3059ක් බව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළි වුණා.

එහිදී හෙළිව ඇත්තේ 8 ශ්‍රේණිය සමත් පුද්ගලයන්ද ඩිපෝ කළමනාකරුවන් බවට පත්ව ඇති බවයි.

එමෙන්ම රියැදුරු හා  කොන්‍ෙදාස්තර පුරප්පාඩු 800ක් ඇති බවත් විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් 500ක ප්‍රමාණයට වැටුප් ගෙවීම ගැටලුවක් බවත් අනාවරණය වෙනවා.

බස් පර්යන්තයක් ඉදිකිරීම සඳහා බත්තරමුල්ල නගරයෙන් ඉඩමක් වෙන් කිරීමේ කටයුතුවල අවසන් තීරණයක් ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්ව ලබන පාර්ලිමේන්තු සතියේ කැඳවන බව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවැසුවා.

එසේම මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් කොළඹ ප්‍රධාන බස්නැවතුමේ බස් රථ ඊළග ගමන් වාරය එනතුරු නවතා තැබීමට කොළඹ කොටුව ප්‍රදේශයේ සුදුසු ඉඩමක් වෙන් කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමටත් මෙහිදී තීරණය වුණා.

බත්තරමුල්ල බස් අංගණයක් ඉදිකිරීම සඳහා මීට පෙර මෙම කාරක සභාවට කැඳවා තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව එම අධිකාරියට කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ වුණා.

එසේම බත්තරමුල්ල නගර සැලැස්ම තුළ බත්තරමුල්ල හන්දියට නුදුරු පොළ පිහිටි භූමියේ ඉඩමක් පිහිටියද මේ සම්බන්ධයෙන් මීට පෙර පැවැති සාකච්ඡාවේදී අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අප්‍රසාදය පළ කළා.

එම භූමිය බත්තරමුල්ල මංසන්ධියට නුදුරින් පිහිටි නිසා මාර්ග තදබදය ඇතුළු ගැටලු ඇතිවීමේ හැකියාව පවතින බව මෙහිදී එම නිලධාරීහු පැවැසූවා.

එසේම මෙහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉදිරි සැලසුම් සහ 2021 වාර්ෂික වාර්තාවෙන් පැනනඟින කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වුණා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන ගැටලු රැසක්ද මෙහිදී සාකච්ඡා විය. 8 ශ්‍රේණිය සමත් පුද්ගලයන් ඩිපෝ කළමනාකරුවන් බවට පත්ව ඇති බවත් ගණකාධිකරණ, තාක්ෂණික ඇතුළු අංශ ගණනාවක තනතුරුවල ගැටලු රැසක් පවතින බවද මෙහිදී හෙළි වුණා.

මැතිවරණයකින් අනතුරුව සුදුසුකම් නැති ඇතැම් වෘත්තීය සමිති නායකයන් ඩිපෝ කළමනාකාරීත්වය ඇතුළු ඉහළ තනතුරුවලට පත්වන බැවින් දේශපාලන අතපෙවීම්වලින් මුදා ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා වුණා.

එසේම 2021 වසරේ කොවිඩ් අර්බුදය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලය රු. මිලියන 3059ක් අලාභ ලැබුවද 2022 වසරේ මණ්ඩලය රු. මි. 485ක ලාභයක් වාර්තා කළ බවද මෙහිදී නිලධාරීහු පැවැසූවා.

වත්මන් ගැටලු අතර රියැදුරු හා කොන්‍ෙදාස්තර හිඟය ප්‍රධාන බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්නා.

දැනට 26,561ක සමස්ත සේවක පිරිසක් සිටින බවද රියැදුරු කොන්‍ෙදාස්තර පුරප්පාඩු 800ක් පවතින බවත් මෙහිදී අනාවරණය වුණා.

ඒ අනුව රජයේ අනුමැතිය මත මෙම බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු සිදු කරන බවද නිලධාරීහු පැවැසූවා.

එසේම විවිධ විෂමාචාර ක්‍රියා සඳහා චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් දිවයින පුරා ඩිපෝ 107ක 500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මෙහිදී අනාවරණය වුණා. පරීක්ෂණ අවසන් කරන තුරු ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුව ඇති බවද මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්නා.

ආයතනයේ වැ‍ටුප් තල ඉතා පහළ අගයක් ගැනීම නව බඳවා ගැනීම්වලට විශාල ගැටලුවක් බව නිලධාරීහු පෙන්වා දුන් අතර වැටුප් සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට ලක්විය යුතු කරුණු දැනුම් දෙන ලෙස කාරක සභා සභාපති නාලක කෝට්ටේගොඩ නියෝග කළා.

එසේම ඉන්ධන භාවිතය සහ කළමනාකරණය පිළිබද දළ වාර්තාවක්ද කමිටුවට ලබා දෙන ලෙස උපදෙස් දුන්නා.