hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 28, පෙ.ව. 9:26



ලංකා ගමනා ගමන මණ්ඩලය ද සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු කරන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ද අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවය.

කෙසේවෙතත් පෞද්ගලික බස් බස් ධාවන කටයුතු තවදුරටත් සීමා වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ද අද දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර ලංගම ඩිපෝ මගින් බස් රථවලට ඉන්ධන නිකුත් කිරීමේදී ලංගම බස් රථ අමතක කර පෞද්ගලික බස් රථවලට හා ජාවාරම්කරුවන්ට අධික ලෙස ඩීසල් ලබාදීම නිසා සමහර අවස්ථාවල ලංගම බස් රථවලට ඩීසල් නොමැති වන බව ශ්‍රී ලංගම පොදු සේවක සමිතිය ප්‍රකාශ කර තිබෙනවා.

එම සංගමයේ සභාපති සාගර ධනංජය මහතා ප්‍රකාශ කර සිටියේ ලංගම සතු ඉන්ධන පිරවුම්හල්වලින් ජාවාරම් ක්‍රියා සිදුවීම පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඊයේ (27) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි.

දහවල් කාලයේදී පෞද්ගලික බස් රථවලට සීමාවක් නොමැතිව ඉන්ධන ලබා දෙන නිසා සවස් කාලයේදී ඩිපෝ වලට පැමිණෙන සමහර ලංගම බස් රථවලට ඩීසල් නොමැති වන බවත් මේ නිසා ලංගමය සතු බස් රථවලට අවශ්‍ය ඩීසල් තොග තබාගෙන පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නොමැති වුවහොත් ලංගම බස්රථවලට ඉන්ධන නොමැති වීම මත ඒවා ඩිපෝවල නවතා තැබීමට පවා සිදු විය හැකි වන අතර මේ වනවිටත් ලංගමය සතුව ප්‍රමාණවත් බස් රථ නොමැති වීම නිසා පාසල් සිසුන් හා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වී තිබෙනවා.

ලංගමය විසින් ප්‍රමාණවත් තරම් බස්රථ ධාවනය නොකිරීම නිසා වාර ප්‍රවේශපත්‍ර ලබා ගන්නා සිසුන්ටත් යම් යම් අවස්ථාවල පෞද්ගලික බස්රථවලට මුදල් ගෙවා පාසල් යාමට හා නැවත නිවෙස් වෙත පැමිණීමට සිදුව තිබෙන බවද ඔහු පවසා සිටියා.

මේ අතර පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන සැපයීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (27 ) මධ්‍යම රාත්‍රියේ සිට වරාය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය ආහාර, ආහාර ආහාර, ආයෝජන කලාප, සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.