hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 16, ප.ව. 2:43



කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලේ බස් රථ සඳහා එම ස්ථානයේ ඉන්ධන පිරවුම් හල් දෙකකින් ඩීසල් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(15) පොරොන්දුවක් ලබා දුන්නා.

නමුත් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලෙන් කිසිදු බස් රථයකට අද දිනයේත් ඩීසල් ලබා දීමට කටයුතු කර නොමැති බවයි.

බස් රථ රියදුරන් පැවසූවේ ඇමතිවරයා කළ ප්‍රකාශයක් බොරුවක් බවත් තමන් දවස් දෙක තුනක් පෝලිම් වල රැඳි සිටිමින් ඩීසල් ලබා ගෙන බස් ධාවනය කළ බවත්ය.

තවමත් බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලේ ඩීසල් ලබා දීමක් සිදු නොකල බවත් බස් රථ සේවකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් පෙන්වා දෙන ඔවුන් දුර ගමන් සේවා වල නිරත වන තමන්ට විවේක ගැනීමට හෝ වැසිකිලි යාමට නිසි තැනක් නොමැති බවත් කියා සිටියා.

බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලේ පිරවුම්හල් දෙකක් ස්ථාපිත කරන බවට ප්‍රවාහන ඇමතිවරයා ප්‍රකාශ කළද මේවන විට එම ස්ථානයේ ඇත්තේ පොම්පයක් සහ ටැංකියක් පමණක් බවයි වාර්තා වන්නේ.

තමන් ඩීසල් ලීටරයක් රුපියල් 500කට මිලදී ගෙන බස්රථ ධාවනය කරන බවයි බස් රියදුරන් පවසන්නේ.

අද දිනයේ ගෙනවිත් තිබෙන්නේ මෙට්‍ර්ක් ටොන් 40,000ක නැවක් බවත් එම නැවේ තිබෙන ඩීසල් මේවන විට ලබා දෙන ධාරිතාවයෙන් ලබා දුන්නොත් පොදු ප්‍රවාහනයට ලබා දිය හැක්කේ තවත් සති දෙකක කාලයකට පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

සාමාන්‍යයෙන් බස් රථ 25 ක්, 30 ක් පමණ ධාවනය වන ඇතැම් මාර්ගවල ඊයේ දිනය වන විට බස් රථ දෙකක් පමණක් ධාවනය වන තත්වයට පත්ව තිබූ බවත් ගම්බද මාර්ගවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බවත් විජේරත්න මහතා කියා සිටියා.

මෙම තත්වය අඛණ්ඩව පැවතුණ හොත් විශාල ගැටුමකට මුහුණ දීමට සිදුවන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ප්‍රමාණවත් බස් රථ නොමැතිවීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවයට පත් ව සිටි අයුරු දැකගත හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: