hit counter

2024 නොවැම්‍බර් මස 25 වන සඳුදා

2023 ජූලි 08, පෙ.ව. 1:18



කොළඹ බල සීමාව තුළ පවත්වාගෙන යන රථ ගාල්වලට රථ වාහන ගාල් කිරීමේදී විවිධ මිල ගණන් අය කිරීම නිසා වාහන හිමියන් සහ රියැදුරන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ කොළඹ නගර සභාවේ රථ ගාල්වල සහ මාර්ගවල නතර කරන වාහනවලින් අය-කර ගන්නා මුදලට වඩා වෙනස් මුදලක් නාගරික සංවර්ධන අධිකාරියේ රථ ගාල්වලින් අය කිරීම නිසායි.

එමෙන්ම මෙම ගාල්වල නතර කරන වාහන සඳහා නිසි බිල්පතක් හෝ ලදුපතක් ලබා නොදීමත් ඒ සඳහා විවිධ මුදල් අය කිරීමත් නිසා වාහන රියැදුරන් සහ රථ වාහන පාලකයන් අතර විවිධ ගැටුම්ද ඇතිවීම සුලබ දසුනක් වී තිබෙනවා.

කොළඹ නගර සභාවෙන් පාලනය වන රථ ගාල්වල අය කරන මුදලම නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පාලනය වන රථ ගාල්වලින් අය කළ යුතු බවට දන්වා තිබුණද එම සමහරක් ගාල්වලින් අය කරන මුදල ඊට වඩා වැඩි බවද රථ වාහන රියැදුරෝ පෙන්වා දෙනවා.

කොළඹ නගර සභාව මඟින් රථ වාහන නතර කිරීම සඳහා අය කිරීමේදී ලබාදෙන බිල්පත මෙන්ම ඉලෙක්ට්‍රොනික බිල්පතක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවත්නා රථ ගාල්වලින්ද ලබාදිය යුතු බවටද නාගරික සංවර්ධන අධිකාරිය දැනුම්දී ඇති බවද වාර්තා වෙනවා.

එහෙත් නිසි ක්‍රමවේදයක් නොමැතිව කොළඹ නගර සභාවත්, නාගරික සංවර්ධන අධිකාරියත් නොයෙකුත් මිල ගණන් රථවාහන නතර කිරීමේදී රියැදුරන්ගෙන් අය කිරීම නිසා වාහන රියැදුරන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කියනවා.

එමෙන්ම කොළඹ නගර සභාව මඟින් පාලනය වන රථ ගාල්වල නතර කරන වාහනවලින් අය කරනු ලබන ගාස්තු සම්බන්ධ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කළත් සමහරක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පාලනය කරනු ලබන රථ ගාල්වල එවන් පුවරු දක්නට නොමැති බවද අපහසුතාවට පත්වූ රියැදුරෝ පවසනවා.

Example Image