hit counter

2025 නොවැම්‍බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 09, පෙ.ව. 12:02



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 වසර සඳහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට එරෙහිව විපක්ෂයෙන් යම් විවේචන එල්ල වෙමින් පවතී. මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, මෙවර අයවැය “අනුන්ගේ කලිසමක් තමන්ගේ මෙන් ඇඳගෙන යන” ආකාරයේ හිස් අයවැයක් බවට චෝදනා කළේය.

ඔහු පැවසූවේ, පසුගිය 2025 වසරේ අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා 57න්, මේ වන විට ක්‍රියාත්මක වී ඇත්තේ යෝජනා 29ක් පමණක් බවයි. “ගිය සැරේ අයවැයේ ප්‍රාග්ධන වියදම් වලින් 24%ක් කෙරිලා නෑ. ජනාධිපතිතුමා අයවැය පරතරය ගැන කතා කළා. පරතරයක් තියෙන්නේ වියදම් නොකර 75%ක් ඉතුරු වෙලා තියෙන නිසානේ,” යැයි ඔහු සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ දසනායක මහතා, “කෘෂිකර්ම හා කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසායක සංවර්ධනයට ගිය සැරේ මිලියන 500ක් වෙන් කළා, ඒකේ කිසිම ප්‍රගතියක් නෑ. ‘ශ්‍රී ලාංකික දිනය’ කියලා මිලියන 300ක් වෙන් කළා, අද වෙනතුරු ප්‍රගතියක් නෑ. වාහන ආනයනය නොකර රුපියල් ඉතුරු වුණා. ඒ නිසා මේ සැරේ අයවැයත් ගිය සැරේ එක වගේම තමයි. අනුන්ගේ කලිසමක් ඇඳගෙන යනවා වගේ වැඩක්,” යනුවෙන් පැවසීය.

අයවැය කතාව පුරාවටම තමන් සාවධානව සවන් දුන් බව පැවසූ මන්ත්‍රීවරයා, “පාර්ලිමේන්තුවේ පැය පහමාරක් අහගෙන හිටියේ ගිය සැරේ කියපුවාමද මේ සැරෙත් තියෙන්නේ කියලා බලන්න. මම මේ කියන ප්‍රගතිය පිළිබඳ දත්ත පාර්ලිමේන්තුවෙන්ම ලබාගත් ඒවා,” යැයි අවධාරණය කළේය.

මන්ත්‍රීවරුන්ට “ඩබල් කැබ්” රථ ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, “ආණ්ඩුව දෙනවා කියනවා, දෙනවද නැද්ද අපි දන්නේ නෑ. අපි ආණ්ඩුවේ නෙවෙයිනේ. හැබැයි ඉතින් මන්ත්‍රීවරු දාස් ගාණක් නෑනේ, පොඩි ගාණයි ඉන්නේ,” යනුවෙන් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: