hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 මැයි 12, ප.ව. 12:22



රට තුළ වර්තමානයේ පවතින ඩෙංගු ව්‍යාප්තිය එලෙසම පැවතිය හොත් ඉදිරි මාස දෙකක කාලය තුල එය අධි වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට සෞඛ්‍ය අංශ මේ වන විට අනතුරු අඟවා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වලට අනුව මෙම වර්ෂය තුළ ඊයේ උදෑසන වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 32,815ක්.

වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 18ක්.

දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 51.7%ක් දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතෙන්.

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ අතර එහි ප්‍රතිශතය රටේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 24.3%ක්.

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ පවතින වැසිබර කාලගුණික තත්වය මධ්‍යයේ රට පුරා යළි ඩෙංගු අවදානමක් මතු වී තිබෙනවා.

ඉකුත් සතියේ රට පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වෙද්දී ඉන් වැඩිම රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයක්ම ඩෙංගු අවදානම් කලාපයක් ලෙස නම් වෙද්දී, ඉන් වැඩිම අවදානමක් පවතින්නේ මීගමුව නගරය තුලයි.

මැයි මාසයේ ගතවූ දින 10 තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් ගණන 3107ක්.

ඒ අනුව මීගමුව, වත්තල, අත්තනගල්ල, බියගම, ජාඇල සහ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 14ක් මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 927ක්.

ගත වූ අවසන් දින දහය තුළ රෝගීන් සියයකට වැඩි පිරිසක් වාර්තා වීමද මීගමුව, ඩෙංගු අධි අවධානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතු වුණා.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ඩෙංගු රෝගය සඳහා ඉදිකරන ලද එක ම විශේෂ ප්‍රතිකාර ඒකකය පිහිටා තිබෙන්නේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල තුලයි.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලෙන් මේ වර්ෂයේ ගතවූ මාස පහක කාලය තුළ රෝගීන් 2318 දෙනෙකු ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර ගෙන තිබෙනවා.

මේ මැයි මාසයේ ගත වූ දින නමය තුළ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණ ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 181ක්.

මෙහිදී ඩෙංගු රෝගයට ගොදුරු වන දරුවන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන අතර එලෙස ගොදුරු වන දරුවන් දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ඩෙංගු සුව වී ගෙන එනකොට සතියක් දෙකක් යනකල් දරුවාව වැඩිපුර මහන්සි කරවන්න එපා. අක්මාව ඩැමේජ් වුණොත් මොළයට බලපාන්න පුළුවන්. ඒ නිසා ඩෙංගු කියන එක ලේසියට ගන්න එපා. ඩෙංගු හැදුණොත් එකේ සංකූලතා එන්න පුළුවන්.”රිජ්වේ ආර්යා ළමා රෝහලේ අද වෙනවිට ඩෙංගු රෝගීන් 40ක් පමණ සිටිනවා. ඒ නිසා කල්පනාකාරී වෙන්න. අපේ දරුවන්ව විශේෂයෙන්ම බේරගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම්, දවස් දෙක තුනකට වැඩිය උණ තියෙනවා නම් රුධිර පරීක්ෂණයක් කරගන්න. එතැනදි සුදු රුධිරාණු හා පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් රුධිර පට්ටිකා 150ට වගේ අඩුවෙලා තියෙනවා නම් රෝහලක් වෙත යන්න. දරුවාට ස්වභාවික දියර ආහාර දෙන්න. රතු පාට කළු පාට ආහාර ලබාදෙන්න එපා. පැරසිටමෝල් මාත්‍රාවට පමණක් ලබා දෙන්න. ඕනවට වැඩිය පැරසිටමෝල් ලබා දෙන්න ගියොත් දරුවාගේ අක්මාවට හානිවෙන්න පුළුවන්.”