hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 අගෝස්‍තු 07, ප.ව. 2:30



කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගයේ සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (06) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව ඇයගේ සැමියා සහ දියණිය සමග ලංකාවේ සංචාරයක් සදහා පැමිණ මාර්ග උපදේශකයෙකු සමග ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ඊයේ (06) ගමන් කරන අවස්තාවේ දුම්රිය ජනේලයෙන් පිටත සිය ජංගම දුරකථනයෙන් සුන්දර ස්ථාන විඩියෝගත කරමින් ගමන් කරන අවස්තාවේ නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානයට ළගා වන අවස්තාවේ දුම්රිය මාර්ගයේ අභියස රැදි සිටි තරුණයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු දිගු පොල්ලකින් විඩියෝගත කරමින් සිටි කාන්තාවගේ අතට තද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම තරුණයන් පහර දෙන දර්ශන ඇයගේ දුරකථනයේ පටිගත වි ඇති අතර පහර දිම නිසා ඇයගේ අතට තුවාල සිදු වි ඇත.

පසුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග උපදේශකයාට දැනුම් දිමෙන් පසු ඇය විසින් චීන භාෂාවෙන් සිය පැමිණිල්ල සටහන් කර එය සිංහල භාෂාවට පරිවර්තනය කර වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ පැමිණිල්ල සහ ජංගම දුරකථනයේ පටිගත වි තිබු දර්ශනද නාවලපිටිය පොලිසිය වෙත ලබා දීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වු නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා ඇතුළු පොලිස් නිලධාරින් නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානය වෙත ගොස් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට සමත් වි තිබෙනවා.

තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය ඉගුරුඔය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔහුන් අවු 22-24 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් බවත්, මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇප මත මුදා හැර සිටින පිරිසක් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් පසු චීන ජාතික කාන්තාව විසින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් පොලිසියට පණිවිඩයක් ඒවා තිබුණා.

මගේ නම Liu Qin. මමයි මහත්තයයි දුවයි සංචාරය සඳහා මෙවර ලංකාව පැමිණියෙමු. අප කඳුරට දුම්රියේ යන විට මම ජනේලයෙන් පිටත අපූරු දර්ශන සහ මිත්‍රශීලී මිනිසුන්ගේ ඡායාරූප ගනිමින් සිටියෙමි. දුම්රියෙන් පිටත සිටි මිනිසුන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙක් මගේ දුරකථනය උදුරා ගැනීමට උත්සාහ කරමින් දිගු ලී පොල්ලකින් මගේ වැලමිටට තදින් පහර දුන් නමුත් ඔවුන් අසාර්ථක වූ අතර ඔවුන්ගේ පින්තූර මගේ දුරකථනයේ පටිගත වුණි. දැන් මගේ අත තුවාල වී නිල් වී ඇත.

මෙම සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශකයා වන විනූ මගේ තුවාල පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර, මගේ පවුලේ අය සහ මගේ හැඟීම් අස්වසමින්, තත්වය ධනාත්මකව හසුරුවා ගත්තේය. එම මිනිසුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ දුම්රියේ රාජකාරියේ යෙදී සිටි  කළමනාකරුට සහ පොලිසියට කතා කිරීමට ඔහු මට නැවත නැවතත් උදව් කළේය. බොහෝම ස්තූතියි!  විශේෂයෙන්ම සංචාරක මඟ පෙන්වන්නා වූ විනූ, ගැටලුව විසඳීමට මහත් අධිෂ්ඨානයකින් යුතුව සමස්ත ක්‍රියාවලියම ක්‍රියාශීලීව හා කාර්යක්ෂමව හසුරුවමින් ක්‍රියා කළේය. එදිනම සවස් වන විට පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසියද ඉතා කාර්යක්‍ෂම බවත් මට ආරංචි විය. බොහොම ස්තූතියි!

මම සහ මගේ පවුලේ අය ලංකාවට ඉතා කැමතියි, මේ රට සහ මිනිසුන්, සෑම සිනහමුසු මුහුණක්ම, සෑම සුළඟක්ම අපව ස්පර්ශ කරයි. ඉඳහිට සිදුවන මෙවැනි නරක සිදුවීමක් නිසා ශ්‍රී ලංකාව පිළිබඳ මගේ හිතේ පවතින යහපත් හැඟීමට බලපෑමක් ඇති වීමට මම ඉඩ තබන්නේ නැත.  මේ සිද්ධිය නිරාකරණය වී ශ්‍රී ලංකාව තවත් ඉදිරියට ගොස් වඩා හොඳින් දියුණු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි!

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සදාකල් පවතිනු ඇත!