hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 7:34



අධික ආහාර උද්ධමනය නිසා කොළඹ ඇතුළු ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජීවත්වීමේ අපහසුතාව හේතුවෙන් ඇතැම් පිරිස් පිට පළාත්වලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව පළාත් පාලන ආයතන ආරංචි මාර්ග පවසනවා. 

එසේම සමහරුන් පිට පළාත්වලින් ඉඩම් මිලදී ගෙන වගා කටයුතු සඳහා පෙළඹී සිටින බව ද වාර්තා වනවා.

මෙසේ පිට පළාත්වලට සංක්‍රමණය වන පිරිසෙන් වැඩි දෙනෙක් නාගරික ප්‍රදේශයන්හි වගා කටයුතු සඳහා ඉඩකඩ නොමැති ඉඩකඩම්වල පදිංචිව සිටින පුද්ගලයින් වනවා. සමහරුන් මෙසේ පිටව ගොස් ඇත්තේ කොළඹ තම නිවාස කුලියට ලබාදීමෙන් පසුවයි.  

මේ අතර කොළඹ ආහාර උද්ධමනය සියයට 70 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වනවා.

දර කෑල්ලේ සිට සෑම දෙයක්ම වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සිදුව ඇති හෙයින් කොළඹ ජීවත්වීම ඉතා දුෂ්කර බව පිට පළාත්වලට සංක්‍රමණය වූ පිරිසක් පැවසුවා.

විශේෂයෙන්ම මහල් නිවාසවල ජීවත් වන පිරිස්වලට මේ ප්‍රශ්නය දැඩිව බලපා තිබෙනවා.

මේ අතර ලෝක බැංකුවේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ වර්තමානයේ  දැඩි  ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින  ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය  2022 වසරේ 9.2 % කින් සහ 2023 දී තවත් 4.2% කින් පහත වැටෙනු ඇති බවයි.

කොවිඩ් වසංගතය හා රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාම ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් එල්ල කර ඇතැයි පෙන්වා දෙන එම වාර්තාව ආර්ථික අර්බුදය හමුවේ, 2021 සහ 2022 අතර කාලයේ දිළිඳුකම 25.6% දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයිද, දිළිඳුබවින් ජීවත් වන පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 27ක් කින් වැඩි වී ඇතැයිද සඳහන් කර තිබෙනවා.  

සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම දිළිඳුකම සහ වඩාත් අවශ්‍යතා ඇති පිරිස  ආරක්ෂා කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතුව ඇතැයි මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච් හඩාඩ් සෙර්වොස් මහතා ප්‍රකාශ කරනවා.

මේ අතර මෙරට පවතින දිළිඳුකම සම්බන්ධයෙන් පේරාදෙණිය ආචාර්යවරුන් පිරිසක් මේ සතියේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව අනාවරණය වන්නේ මෙරට දිළිඳුකමින් පෙළෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා වැඩි වී ඇති බවයි.

2019 මෙම සංඛ්‍යාව පවුල් ලක්ෂ 7ක් විය.

2019 දුගීභාවයේ සිටි පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 30ක් පමණ වූ අතර 2022 වන විට එම සංඛ්‍යාව ලක්ෂ 96 දක්වා වැඩි වී ඇතැයිද ඒ අනුව රටේ සමස්ථ ජනගහනයෙන් 42%ක් දුගීබවින් පෙළෙන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යා හා  සංඛ්‍යාලේඛන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙනවා.