hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 06, පෙ.ව. 4:25



අතිරේක පෝෂණ ආහාරයක් ලෙස කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පාරිභෝජනයට හුරු වී සිටිනවා.

ඒ අනුව මෙරට මාසික කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 7000කට ආසන්න අතර කිරිපිටි ආනයන සදහා වාර්ෂිකව වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 360කට ආසන්නයි.

පවතින ඩොලර් හිගය හේතුවෙන් මෙරටට කිරිපිටි ආනයන සීමා කිරීමටද අවස්ථා කිහිපයකදීම සිදු වුණා.

මෙවන් පසුබිමක මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ HS කේත 369කට අදාළ භාණ්ඩ ආනයන පාලක බලපත්‍රයක් රහිතව ආනයනයට අවසර ලබා දී ඇති බවයි.

ඒ අනුව නව ක්‍රමවේදයට අනුව කිරි, යෝගට්, බටර්, චීස් ඇතුළු භාණ්ඩ වර්ග 369ක් වර්තමානයේ පවතින නීති රීති වලට අනුව ආනයනය කළ හැකියි. නමුත් යෝගට් කිලෝග්‍රෑම් එකකට පනවා තිබූ රුපියල් 1000ක වෙළද භාණ්ඩ බද්ද රුපියල් 2000 දක්වා ඉහල දැමීමටද නව සංශෝධනයෙන් පියවර ගත්තා.

මේ අනුව දේශීය කිරි ගොවියාට අවස්ථාව ලබා දුනහොත් මෙරටට අවශ්‍ය කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සීමා කර රටට අවශ්‍ය කිරි ආශ්‍රිත නිෂ්පාදන දේශීයව සපයා ගත හැකි බව නිෂ්පාදකයින් පෙන්වා දෙනවා.

ඇතැම් ප්‍රදේශවල කිරි ගවයින් සදහා තණබිම් නොමැති වීමෙන් නිෂ්පාදන කටයුතු සදහා බාධාවක් වී ඇතැයි ගොවීන් පෙන්වා දෙනවා.

විවිධ ගැටලු හේතුවෙන් අභාවයට යන දේශීය කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය උදෙසා වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීමේ දී පෝෂණ ඌනතා මගහරවා ගැනීමටද හැකියි.