hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 22, පෙ.ව. 3:26



දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 370 අතරින් 17%ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, එම අවදානම අවම කරගැනීම සඳහා ජනතාව සිය පරිශ්‍රවල ජලය නොරැඳෙන සේ පිරිසිදු කරගැනීමට උත්සුක විය යුතු බවයි.

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 35,675දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මැයි පළමු වනදා සිට මැයි 20 වනදා දක්වා ගෙවුණු දින 20 තුළදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5,967ක්.

ඒ අනුව, ගෙවුණු දින කිහිපයේ දෛනිකව වාර්තා වූ ඩෙංගු රෝගීන් දෙස අවධානය යොමු කිරීමේදී දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 300ත් 400ත් අතර සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු අධි අවදානම ගැන අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“මේ දක්වා වැඩි පිරිසක් වාර්තා වෙලා  තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට කොළඹින්, ඊළඟට කළුතරින්. එතකොට හොඳටම පැහැදිලි අධි අවදානම කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ. ඊට අමතරව නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත්, වයඹ පළාතේ පුත්තලමව වගේ දිස්ත්‍රික්කවලත් මේවන විට ඩෙංගු අධි අවදානම් කලාප පිළිබඳව අපට කතාකරන්න සිදුවෙලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල ලංකාවේ 370ක් තියෙනවා. එයින් 59ක් වගේ ප්‍රමාණයක් අධි අවදානම් කලාප ලෙස මේ වනවිට හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ 17%ක් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල. ඒක එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. අද දැන් මේ වෙනකොට මරණ මේ අවුරුද්ද තුළ 23ත් 24ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන මරණවලින් පවා අති බහුතරයක් වාර්තා වෙන්නේ ප්‍රමාදවෙලා රෝහල් ගතවීම හරහා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ලොකු වගකීමක් තියෙනවා පළවෙනි, දෙවැනි දවස වෙනකොට උණ පාලනය වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමුවෙලා, වැඩිය හොඳයි රජයේ රෝහලකට ගිහිල්ල අවශ්‍ය ප්‍රතිකාර ගන්න.”

මේ අතර දකුණු පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් එම පළාත තුළ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් සභාව තීරණය කර තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පැවසුවේ මැයි 23 සිට මැයි 27 දක්වා ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක බවයි.

මේ අතර කොළඹ මහනගර සභාවට අයත් වැල්ලවත්ත දිසා අංක 5 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් ඊයේ යළිත් වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයක් පරීක්ෂා කළා.

එහිදී මදුරු කීටයන් බෝවන ස්ථාන රැසක් සොයාගත් නිලධාරීන් එම ස්ථානවල හිමිකරුවන්ට රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඩෙංගු අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති පිළියන්දල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකම ඊයේ ඉඩම් හා ඉදිකිරීම් කටයුතු සිදුවන ස්ථාන පරීක්ෂා කිරීම සිදුකෙරුණා.