hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 12, ප.ව. 3:43



‘’Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකායේ පුළුල් වැඩපිළිවෙළට සමගාමීව, පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ කමිටුව පසුගියදා (මාර්තු 11) රැස්වුහ.

දිවයිනට බලපෑ ‘දිත්වා’  සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හමුවේ, අවශ්‍ය පිළියම් යෙදීම සඳහා වන ජාතික ප්‍රතිචාර යාන්ත්‍රණය සම්බන්ධීකරණය කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රදේශ සඳහා විධිමත් ප්‍රතිසංස්කරණ සැලැස්මක් සකස් කිරීම මෙහි මූලික අරමුණ විය.

මෙම සාකච්ඡාව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදි පැවැත්විණි.

මෙහිදී 2025 නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ අලාභ හානි පිළිබඳ මූලික සොයාගැනීම් දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරිණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මෙම තක්සේරු වාර්ථාව, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිව රජය මෙහෙයවන විධිමත් රාමුවක් යටතේ සකස් කර ඇත.

ඒ මඟින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු වූ දේපළ හානි, ආර්ථික බලපැම සහ ප්‍රතිසාධන අවශ්‍යතා ගැඹුරින් ඇගයීමට ලක් කිරීම අරමුණු කෙරේ.

එයින් ලබාගත් මූලික විශ්ලේෂණයන්ට අනුව, මෙම සුළි කුණාටුව හේතුවෙන් නිවාස, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන, ජල සම්පාදන සහ වෙළඳ ව්‍යාපාර ඇතුළු සමාජීය, නිෂ්පාදන සහ යටිතල පහසුකම් යන අංශ සියල්ල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇත.

විශේෂයෙන්ම මහනුවර, බදුල්ල, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක මේ හේතුවෙන් වැඩිම හානියක් සිදු වූ ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.

සාකච්ඡාව අතරතුර, කමිටුවේ පාර්ශ්වකරුවන් ඔවුන්ට අදාල විවිධ විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ ලබාගත් මුලික නිරීක්‍ෂණ සමාලෝචනය කළ අතර ප්‍රතිසංස්කරණ සහ නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරන ලදි.

ප්‍රතිසංස්කරණ සැලසුම් සාක්ෂි මත පදනම් වූ සහ ජාතික ආපදා ඔරොත්තු දීමේ උපාය මාර්ග සමඟ සමපාත වන බව සහතික කිරීම සඳහා, ඇගයීම් සොයාගැනීම් නිවැරදිව තහවුරු කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ ක්‍රියාවලිය මගින් මධ්‍යකාලීන සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විධිමත් මඟපෙන්වීමක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන අතරම, ආපදාවලට ඔරොත්තු දෙන සංවර්ධන ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාවන් හා ධාරිතාවන් ශක්තිමත් කිරීමට ද එය ඉවහල් වනු ඇත.

‘දිත්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ කමිටු වාර්ථාව, ඊට අදාළ විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ලබා ගන්නා දත්ත හා තොරතුරු මත පදනම්ව තක්සේරුව තහවුරු කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.