hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මාර්තු 12, ප.ව. 3:31



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවේ මීයන් සිටින බවට හෝ එහි රඳවා සිටින පිරිස්වලට උණ වැළඳී ඇති බවට මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් පැමිණිල්ලක් ලැබී නැති බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු රඳවා සිටින ස්ථානයේ පවතින සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයන් පිළිබඳව විමල් වීරවංශ සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවට රැගෙන ගිය පළමු පුද්ගලයා සුරේෂ් සලේ මහතා නොවන බවත්, මීට පෙර එහි ගෙන එන ලද කිසිදු පුද්ගලයෙකුගෙන් එහි මීයන් සිටින බවට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත්, විමල් වීරවංශ හෝ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් එවැනි ප්‍රකාශයක් කරන්නේ නම්, එහි රඳවා සිටින අනෙක් පිරිස් ගැන ද සිතා ඒ පිළිබඳව විමර්ශනයක් කර අවශ්‍ය පිළියම් යෙදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියා.

සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කලබලයට පත්ව ඇති බව පෙනෙන්නට තිබුණ ද, ඒ පිළිබඳව කලබල විය යුතු නැති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු සාක්ෂි පදනම් කරගෙන බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඉදිරි විමර්ශනවලදී හෙළිදරව් වන සාක්ෂි මත පදනම්ව තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වර්තමානය වන විට රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවට මෙය කදිම සාක්ෂියක් බව ද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: