hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:45



උල්කාපාත වර්ෂාවක් බවට සැලකෙන විශාල වෛවර්ණ ආලෝක දහරාවක්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වළල්ලේ අහස් මාලිගාව පිහිටි ප්‍රදේශයට 31 වැනිදා අලුයම 2.00ට පමණ උඩු ගුවනේ සිට පාත් වූ බව ප්‍රදේශයේ රාත්‍රි කාලයේ පැල් රකින ගොවීහු පිරිසක් සඳහන් කළා.

විනාඩි දෙකක පමණ කාලයක් එම ආලෝක ධාරාව පැවැති අතර නිල් කහ, රතු සහ දම් වර්ණවලින් එම ආලෝක ධාරාව අහස් මාලිගාව දෙසට පහත් වී එකවර නැති වී ගිය බව ඇසින් දුටු ගොවියෝ සඳහන් කරනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදීම උල්කාපාත වර්ෂා මෙන්ම පිටසක්වළ ජීවීන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාව පිහිටා තිබූ ප්‍රදේශවලට පැමිණි බවට දිඹුලාගල නවමිල්ලන දලුකාන හා මලියදේවපුර ඇතුළු අවට ගම්මානවල ජනතාව දැක තිබෙනවා.

පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අහස් මාලිගයට මෙන්ම අරලගංවිල කන්දේගම ධානිගල කඳු වළල්ලට මීට පෙර වසරවල මෙන්ම බොහෝ අවස්ථාවල විවිධ ආලෝක ධාරාවන් මෙන්ම පිටසක්වළ ජීවීන් පැමිණෙන බවට ඉතිහාසයේ සිටම ජනප්‍රවාද කතාවල සඳහන් වෙනවා.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගය දෙසට සෑම වර්ෂයකම පාහේ මේ ආකාරයේ විවිධ ආලෝක ධාරාවන් මෙන්ම පිටසක්වළ ජීවීන් බවට සැලකෙන පාවෙන පීරිසි ඔස්සේ ඉහළ අහසේ සිට රාත්‍රි සහ අලුයම් කාලයේ පහත් වන බවට තමන් වහන්සේලා ඇසින් දැක ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා සහ සාමණේර හිමිවරු සඳහන් කළා.

මේ පිළිබඳව අදහස් දැක්වූ උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පැළෑටියාව රජමහ විහාරාධිපති මාදුරුඔය විජිතාලංකාර නාහිමියන් මෙලෙස සඳහන් කළා.

“මීට වසර කිහිපයකට පෙරත් ඔය ආලෝක ධාරාවන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාවට පාත්වෙනවා මමත් දැකලා තිබුණා. පිටසක්වළ ජීවීන් අහස් මාලිගාව ස්ථානයට පැමිණ ඒ ගුහාවලට ඇතුළු වෙනවා. එතැන රැඳී සිට ඒ අය අනෙකුත් පිටසක්වළ ජීවීන් එක්ක තොරතුරු බෙදාහදා ගන්නවා කියලා කතාවකුත් තියෙනවා. උඩු ගුවනේ සිට විවිධ ආලෝක විහිදුවමින් එක පාරටම අහස් මාලිගාව දෙසට ඇවිල්ලා ඒ ගල් ගුහා ඇතුළට යන ස්වභාවයක් තමයි මම දැක්කේ. බොහෝ අවස්ථාවලදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා වගේම මේ ප්‍රදේශයේ රාත්‍රි කාලයේදී පැල් රකින ගොවි ජනතාව මේ සිද්ධීන් දැකලා තියෙනවා.

ඉතිහාසයේ සඳහන් වෙනවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අහස් මාලිගාව පිහිටි ප්‍රදේශය පිටසක්වළ ජීවීන්ගේ නවාතැන් මධ්‍යස්ථානයක් කියලා. ඉතින් අපිත් සැක පළ කරනවා බොහෝ විට ඒ එන්නේ පිටසක්වළ ජීවීන් කියලා. මේ පිළිබඳව තවම පර්යේෂණ කරලා නැහැ. බොහෝ විට බදාදා, සෙනසුරාදා හා කෙම්මුර දිනවල රාත්‍රි සහ අලුයම් කාලයේ තමයි ඒ වගේ ආලෝක එළි පාත්වෙන්නේ. එදාට අපේ  ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා ඒ පාත් වුණ තැන්වලට ගියාට පස්සේ විවිධ සලකුණු සහ පිටසක්වළ ජීවීන් පැමිණි බවට සටහන් දැකලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: