hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 09, පෙ.ව. 10:40



ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කමින් ඔහු ආපසු හරවා යැවු සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙනවා.

ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බව කියන මහාචාර්ය රනිල් ජයවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ කීය. 

“පුද්ගලික රෝහලේ හෙදියට ඒ රෝගියාව බලන්න බෑ කීවා  මිස වෙනත් කිසිවක් එම අවස්ථාවේ සිදු වූයේ නෑ. හෙදිය ප්‍රසන්න රණතුංග මහතාව දැනුවත් කරන්නට ඇති.  ඒ අනුව ඔහු රෝහලෙන් පිටව යන්නට ඇති. ඉන්ධන නැතිව, විදුලිය නැතිව ඉහල ගිය බඩු මිල සමග දුක් විදින ජනතාව අරගල කරමින් ඉල්ලන දේ නොඇසෙන සේ සිටින අමාත්‍යවරුන් බැලීමටවත් සිතන්නේ නෑ. ප්‍රසන්න රණතුංග මහතාට මීට පෙර අවස්ථා දෙකකදී  ප්‍රතිකාර ලබා දුන්නා.  මෙවර  පැමිණ තිබුණේ තුන්වෙනි වතාවටයි. මේ වන විට ජනතාව මහමග දුක් විඳිනවා.

දේශපාලනඥයා යනු තවදුරටත් විශේෂිත පුද්ගලයකු නොවේ. ඔවුන්ට විශේෂත්වයක් දී සැලකීම මින් ඉදිරියට සිදු නොකිරීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කර තිබෙනවා. ප්‍රසන්න රණතුංග මහතා සමග පුද්ගලික විරුද්ධත්වයක් නෑ. මෙම සිදුවීමෙන් ඇතැමෙක් වෛද්‍ය ආචාර ධර්ම කඩ වූයේ යැයි හුවා දැක් වුවත් එවැනි කිසිදු වෛද්‍ය ආචාර ධර්මයක් කඩ වන්නේ නෑ.  ඒ මහතා අමාත්‍යවරයා සිටියේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක නොවෙයි.”

මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි. වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ හත්වැනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හී මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන්  අප කල විමසීමට පිළිතුරු සපයමිනි.

අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා,

මෙම සිද්ධිය වූ දිනට සති තුනකට පෙරදී වෛද්‍යවරයා චැනල් කළා.  ඒ අනුව ලැබුණු අංක තුන යටතේ ඔහුව හමුවීමට රෝහලට ගියා. එම අවස්ථාවේදී තමාගේ රෝගි සටහන්පත් කවුන්ටරය වෙත බාරදී විනාඩි හතලිස්පහක පමන කාලයක් තමාගේ වාරය එනතුරු රෝහලේ රැදී සිටියා. එම අවස්ථාවේදී එහි සිටි හෙදියක් තම බිරිඳ අමතමින් පසෙකට කැඳවාගෙන ගියා  ඇය තමාගේ රෝග තත්ත්වයක් පිළිබඳ බිරිඳව දැනුවත් කිරීමට කැඳවාගෙන යන්නට ඇතැයි සිතුවා. හෙදිය මුණගැහී තමා වෙත ආ බිරිඳ අපි යං තාත්ති යැයි පවසමින් තමා ඉදිරියට පැමිණීමත් සමඟ සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකි වුණා.”

එම අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන හෙදිය තමාව දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව වෛද්‍යවරයා හමු වී ඒ ආකාරයෙන් කටයුතු කළේ මන්දැයි තමා විමසා සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ දේශපාලනඥයන්ට තමා ප්‍රතිකාරක නොකරන බව යැයි අමාත්‍යවරයා පැවසුවා.

තමාට මුදල් නැවත රැගෙන යන්නට  වෛද්‍යරයා පැවසූවත්  එම මුදල් ද තමා ලබා නොගත් බව පැවසුවා.

සිද්ධිය පිළිබඳව තමාට යම් කනගාටුවක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මීට පෙර අවස්ථා දෙකකදී ඔහුගෙන් ලබාගත් කාරයන්හීදි ලබා දුන් ඖශධවලින් දැණුන අපහසුතාවයකට ප්‍රතිකාර ලබා ගැනීමට මා වෛද්‍යවරයා හමුවට ගියා. අවසානයේ දී එකී සංකූලතාවන් ට ප්‍රතිකාරකාර නොලබාම තමාට රෝහලෙන් පිට වෙන්නට සිදු වූණා. වෛද්‍යවරයාගෙන් සිදුවූ අකටයුත්ත පිළිබඳව තමා මාධ්‍යට කතා නොකර සිටි බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා අදාළ වෛද්‍යවරයා යූ ටියුබ් වෙත හඬ පට නිකුත් කරමින් තමා හීරෝ වන න්‍යායකින් කටයුතු කරනු දක්නට ලැබුණා. රෝගියකු පීඩාවට පත්කොට වෛද්‍යවරයකු එසේ හීරෝ කෙනකු වීම පිළිබඳව කණගාටුවක් පවතිනවා.”

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ලංකා රෝහලේ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා හමුවීමට ගිය අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය වල සැරිසරන තොරතුරු සම්බන්ධයෙන් එම රෝහල අද නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනය පහතින්,

” ශ්‍රී ලංකාවේ තෘතීය සත්කාරක රෝහලක් ලෙස ලංකා රෝහල රැකවරණය සහ උපදේශනය අවශ්‍ය රෝගීන් වෙත ඒ සඳහා පහසුකම් සහ සේවා සපයනු ලබයි. වෛද්‍යවරයකුට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හැක.

වෛද්‍යවරයකු රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඉන් පසුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය රෝහල විසින් නිසියාකාරව අනුගමනය කරනු ලබයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය චෝදනා කරන පරිදි රෝහලේ කිසිම වෛද්‍යවරයකුගේ සේවය අත් හිටුවා නැත.

අප රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය පිළිබඳ වගකීම අප බාරගන්නා බවට මහ ජනතාවට සහතික වන්නෙමු.සෑම අවස්ථාවකම රෝගීන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.”

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පවසන්නේ මෙය කිසිසේත්ම පූර්වාදර්ශයක් නොවිය යුතු බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම විශේෂඥ වෛද්‍යවරයාගේ පෞද්ගලික මතය. සංගමයක් විදියට කියන දේ තමයි අපි සෑම පුද්ගලයෙක්ම අපි කරා එන ප්‍රතිකාර ලබා ගැනීමට අපි ප්‍රතිකර්ම කළ යුතුයි. මේ සිද්ධිය පුර්වාදර්ශයක් කර ගත යුතු නැහැ. මොකද පවතින ප්‍රශ්නයට විසඳුම එතන නෙවෙයි තියෙන්නේ.”

වෛද්‍යවරයෙකු ප්‍රතිකාර නොකිරීම රෝගියෙකු වෙනුවෙන් සිදු කළ හැකි සදාචාරාත්මක අයිතියක්ද? නැද්ද? යන ගැටලුව නිතැතින්ම ඔබට පැන නගිනවා ඇති.