hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 22, පෙ.ව. 10:01



ඩුබායි රටෙහි රැකියා ලබා දෙන බව පවසා ශ්‍රී  ලංකාවෙන් එරටට ගිය පුද්ගලයන් 70ක් පමණ මේ වන විට අතරමං වී ඇතැයි වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ පුද්ගලයකු විසින් ඩුබායිහි අලුතින්ම ආරම්භ කරන  වාහන සේදීමේ ආයතනයක් සඳහා මෙම පුද්ගලයන් එරටට ගෙන්වාගෙන ඇති අතර මේ වන එම පුද්ගලයන් වීසා නොමැතිවීම හේතුවෙන් දැඩි අසරණතාවකට පත්ව ඇතැයි එම පුද්ගලයෝ පවසනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ආරම්භකරන ලද වාහනසේදීමේ මෙම ආයතනය සඳහා ශ්‍රී  ලාංකික ශ්‍රමිකයන් එරටට ගෙන්වාගෙන ඇති අතර එක් අයකුගෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ දෙකක් (ඩිරාම් 2000) තැන්පතුවක් වශයෙන්ද ලබාගෙන තිබෙනවා.

කෙසේ නමුත් එදින පටන් මේ වන තෙක් කිසිදු සේවකයෙක් සේවයට නොයොදා ඇති අතර මුලින් රැකියාවට එක් වූ පුද්ගලයන්ට පසුගිය පෙබරවාරි මාසය තෙක්ම වැටුප්ද ගෙවා තිබෙනවා.

නමුත් මේ වන විට මෙම වසරේ මාර්තු මාසයේ සිට වැටුප් ගෙවා නොමැතිවීමත් සේවකයන්ට වීසා ලබා නොදීමත් නිසා එම පුද්ගලයන් දැඩි කම්පනයකට පත්ව තිබෙනවා.

ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී  ලංකාවෙන් පමණක්ම මෙම ආයතනය සඳහා ශ්‍රමිකයන් ගෙන්වාගෙන ඇති අතර තවත් පුද්ගලයන් 35 දෙනකු පමණ මෙම ආයතනයට මුදල් ලබාදී ඩුබායි රාජ්‍ය සඳහා යෑමට නොහැකිව සිටින බවද ඔවුහු අප සමඟ කියා සිටියා.

මේ වන විට මාස තුනක් තිස්සේ කිසිදු වැටුපක් නොමැතිව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති මෙම පුද්ගලයන් කොතරම් ඉල්ලීම් කළද එම වැටුප් ලබාදීමද ආයතනය විසින් දිනෙන් දින කල් දමන බවද එම සේවකයෝ පවසනවා.

එසේම වීසා නොමැති වීම හේතුවෙන් දඩ මුදල් (Fine හා Abskoding) වැඩි වීමත් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මෙම වාහන සේදීමේ ආයතනය මඟින් ලබා ගැනීමත් ඔවුන් මුහුණ පා ඇති තවත් අර්බුදයක්.

කෙසේ වෙතත් මෙම ආයතනය පිළිබඳ සේවකයන් හට දැඩි සැකයක් මතුව ඇති අතර මෙම ආයතනය වංචනිකව මුදල් උපයා සේවකයන්ගේ මුදල් වංචා කර ඇති බවට ඔවුහු චෝදනා නඟනවා.

එසේම මේ වන විට එම සේවකයන් නැවතී සිටින ගොඩනැඟිල්ලෙහි කාමර කුලී ගෙවීමද මෙම ආයතනය විසින් පැහැර හැරීම නිසා කාමර හිමිකරු විසින් ඉකුත් 16 වැනිදා රාත්‍රියේ ඉන් පිටතට දැමූ බවත් සේවකයන්ගේ ඇවිටිලි කිරීම නිසා පසුදා උදෑසන වන තුරු රැඳී සිටීමට අවසර ලබා දුන් බවත් ඔවුහු පැවැසූවා.

කෙසේ වෙතත් ඉකුත් 17 වැනිදා සිට ඔවුන්ට නවාතැන් ස්ථානයක් නොමැතිව මාර්ගවල හා විවිධ ස්ථානවල ඔවුන් රැඳී සිමින් ආහාර පවා නොමැතිව සිටින විට මෙම ආයතනයේ නිලධාරීන් ඔවුන් කාමරයකට ගෙන ගොස් දමා තිබෙනවා.

නමුත් එහි මිනිසුන්ට තියා තිරිසන් සතකුටවත් රැඳී සිටීමට නොහැකි ස්ථානයක් බවත් එක් කාමරයක පුද්ගලයන් විසිපහක් පමණ සිටින නිසා ඔවුන්ගේ බෑග් ආදිය පමණක් එහි තබා ඔවුහු නොනිදා පහන් කරන බවද ඔවුහු  හැඬූ කඳුළින් පැවැසූවා.

එහි දින තුනක් සිටි ඔවුන් නැවතත් වෙනත් කාමරයකට ගෙන ගොස් දමා තිබෙනවා.

මෙම ගැටලු හේතුවෙන් එම පුද්ගලයන් අතුරෙන් කිහිප දෙනකු රැකියාවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අදාළ ආයතනය වෙත දන්වා සිටියද ඔවුන්ට අදාළ තැන්පතු, වැටුප් හෝ වීසා මෙන්ම විදේශ ගමන් බලපත්‍රයද ඔවුන්ට ලබාදීමට ආයතනය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔවුහු පැවසුවා.

කෙසේ වෙතත් මෙහි අධ්‍යක්ෂ වශයෙන් පෙනී සිටි පුද්ගලයාගේ සහෝදරයා විසින් විවිධ නම්වලින් පෙනී සිට මෙම ආයතනයට සේවකයන් බඳවාගෙන ඇතැයිද වාර්තා වෙනවා.

එසේම මෙම කණ්ඩායම විසින් අබුඩාබිහිද මේ ආකාරයේම මුදල් වංචා කිරීමේ සිද්ධියක් හා සම්බන්ධයෙන් චෝදනා ඇතැයි තොරතුරු දත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේම ඩයස් යන පුද්ගලයකුගේ නමින් සම්පත් බැංකුව, වැල්ලවත්ත ප්‍රධාන ශාඛාවේ පවත්වාගෙන යන ගිණුම් අංක 103657826106 යටතේ ඇති ගිණුමට පුද්ගලයන් මුදල් බැර කර ඇති බවද සඳහන් වෙනවා.

මෙම වංචාවට සම්බන්ධ සියලුම දෙනා හට නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙසත්, මේ වන විට මෙම වංචාවට හසුව ඩුබායිහි සිරවී සිටින පුද්ගලයන්ට සහනයක් සලසා දෙන ලෙසත් එම සේවකයෝ ඉල්ලා සිටිනවා.

මේ වන විට මෙම ආයතනයේ අධ්‍යක්ෂ යැයි පවසන පුද්ගලයා සිටිනා ස්ථානයක් නොදන්නා බවද, ඔහු දුරකථනය ඔස්සේ පමණක් සම්බන්ධ වන බවද ඔවුහු පවසනවා.

එසේම මෙම ආයතනයට ලංකාවෙන් රැගෙන ආ පුද්ගලයන් සය දෙනෙක් මෙරට වීසා කල් ඉකුත් වීම හේතුවෙන් වීසා බලපත්‍ර අලුත් කිරීම සඳහා නේපාලය (කත්මන්ඩු) සඳහා යවා ඇති අතර මේ වන විට දින 10කට වඩා ගත වී ගියත් තවම ඔවුන් ගෙන්වා නොමැති වීමද තවත් ගැටලුවක්.

ඔවුන් එහි කාමරයක රඳවා සිටියදී එරට වැඩවසන ලංකාවේ හිමිවරුන් විසින් ඔවුන් ඉන් මුදාගෙන එම ස්වාමීන් වහන්සේලාගේ විහාරස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වෙනවා.

එසේම ඔවුන්ට නැවත ඩුබායි රටට ඒමට අවශ්‍ය කටයුතු කිසිවක් මෙහි අධ්‍යක්ෂවරයා විසින් සිදු නොකරන බවත් වාර්තා වෙනවා.

මෙම තත්ත්වය මත මෙම පුද්ගලයන්ගේ නිවෙස්වල අයද දැඩි පීඩනයකින් පසුවන බවත් පැවැති ගැටලු තවත් වැඩි වී ඇති බවත් පවසන ඔවුන් කියා සිටින්නේ මෙම අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් මෙරටින් පලා ගියහොත් නැවත ශ්‍රී ලංකාවටවත් පැමිණීමට තමන්ට හැකියාවක් නොලැබෙන බවයි.