hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 4:03



කොළඹ හා බස්නාහිර ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පන ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳව සැලිකිලිමත් විය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

මහනුවරදී අද (03) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ ඒ මහතා කියා සිටියේ 1615 වසරේ සිට මේ දක්වා කොළඹ හා බස්නාහිර ප්‍රදේශය ආශ්‍රිතව විශාල භූ කම්පන ප්‍රමාණයක් සිදුව ඇති බවයි.                                             

තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා,

“භූවිද්‍යාත්මක ඉතිහාසය අනුව අවුරුදු මිලියන 200 කට පමණ ඉහතදී ශ්‍රී ලංකාව, අප්‍රිකාව, මැඩගස්කරය, ඇන්ටාටිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව එකම භූමියක් ලෙසින් තමයි පිහිටා තිබී තිබෙන්නේ. වසර ගණනාවක් තිස්සේ සංක්‍රමණය වෙලා තමයි ලංකාව දැන් මේ තියන ආකාරයෙන් ස්ථාපිත වෙන්නේ. අවසානයට ලංකාව හා ඉන්දියාව එකට හා වුණු ගොඩබිමක් වශයෙන් පැවතිලා තිබෙනවා. ඉන් කාලෙකට පස්සේ තමයි ලංකාවයි ඉන්දියාවයි වෙන් වෙන්නේ. මේ වෙන් වීම් සමඟ ලංකාව හා ඉන්දියානු මුහුදු අභ්‍යන්තරයේ අසාමාන්‍ය ලක්ෂණ රැසක් දක්නට ලැබෙනවා. මේ අභ්‍යන්තර මුහුදු භූමි තලයේ අසාමාන්‍ය ලක්ෂණ සහිත රේඛාව විශේෂයෙන් බස්නාහිර පළාත හරහා කොළඹ දක්වා ගමන් කරන ආකාරය පැහැදිලිව දැකගන්න පුළුවන්.                                                          

බස්නාහිර පලාත ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයන් ඇති වෙන්නේ මේ මුහුදේ ඇති අසාමාන්‍ය තත්වය හේතුවෙන් බව අපිට හිතන්න පුළුවන්. ඉදිරියේදිත් බස්නාහිර පළාත් ආශ්‍රිතව යම්කිසි භූ කම්පන ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ඉතා අධික ජනගහණයක් ඇති ඒ පළාතේ තරමක් හෝ ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් විශාල විනාශයක් වෙන්නත් පුළුවන්. නමුත් එහෙම වෙයි කියලා අපිට ස්ථිරවම කියන්න බෑ.කළ යුත්තේ මේ අදාළ ප්‍රදේශවල භූ කම්පන මාන හා අදාල නවීන උපකරණ ස්ථාපිත කොට සුපරීක්ෂාකාරීව සිටීමයි. එසේ සිට අදාල දත්ත රැස් කිරීම අනිවාර්යෙන්ම කලයුතු වෙනවා.” යයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.