hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 6:00



වර්තමානයේ ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනතාවගේ මානසික සෞඛ්‍ය පිරිහීමක් තිබෙන බව එදිනෙදා ප්‍රවෘත්ති දකින විට අපට පෙනී යනවා.

අපාරාධ, මිනිමැරීම්, අපයෝජන, සිය දිවි නසා ගැනීම් යනාදී නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩි වීමක්ද නිරීක්ෂණය කළ හැකියි.

එබැවින් මීට හේතු වන කාරණා සොයා බලා, පවත්නා අර්බුද තත්ත්වය අවස්ථාවක් කර ගෙන ඊට කඩිනම් පිළියම් යෙදීමට කාලය එළැඹ තිබෙනවා.

මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයීය කාර්යමණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ගොඩමුන්නේ මහත්මිය පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකට එක්වී අදහස් දක්වා තිබෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකේය ජන සමාජය තුළ මානසික ආතතිය වේගයෙන් වර්ධනය වීමේ ස්වභාවයක් දැක ගත හැකි බවත් මේ සඳහා බලපාන හේතු පිළිබඳවත් ඇය මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ වනවිට මිනිසුන් තුළ මානසික ආතතිය ඉතා වේගයෙන් වැඩි වීමක් දක්නට ලැබෙනවා. මෙම වැඩි වීමට වර්තමානයේ අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ප්‍රධාන හේතුවක්. මෙය අපේ රටේ පර්යේෂණ සාධක මඟින් තහවුරු කර නොමැති වුවත් ලෝකයේ කුමන හෝ රටක ආර්ථික අර්බුදයක් පැවතුණොත් එය අනිවාර්යෙන්ම ඒ රටේ ජනතාවගේ මානසික සෞඛ්‍යයට බලපානවා. විශේෂයෙන්ම මෙවැනි රටක ආතතිය, විශාදය හා සිය දිවි නසා ගැනීම් වැඩි වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මොකද ආර්ථික අර්බුදයක් ඇති විට මිනිසුන්ගේ රැකියාවන් නැති වෙන්න පුළුවන්. රැකියාවක් අහිමි වෙනවා කියන්නේ පවුලක සමස්ත ආර්ථිකයම බිඳ වැටෙනවා. රැකියාවක් තිබෙන පුද්ගලයකුගේ වුවත් රැකියාවේ සුරක්ෂිතභාවය අඩුයි.

එම අවදානමත් මානසික සෞඛ්‍යයට අහිතකරයි. අනිත් කාරණය තමයි පවත්නා රැකියාවෙන් උපයන මුදලින් තමන් බලාපොරොත්තු වන ජීවන රටාව පවත්වාගෙන යන්න නොහැකි වීම. ආර්ථික අර්බුදය නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළයි. තමන් හුරු වී සිටින ජීවන රටාව අහිමි වීමත් මානසික සෞඛ්‍යයට හොඳ නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකම සිටින පුද්ගලයන්ට ඉස්සර ගත කරපු ජීවන රටාව දැන් ගත කරන්න බැහැ. ඒ නිසා මානසික ආතතිය හා අනෙකුත් මානසික රෝග ඇති වීම  වැඩි වෙලා තියෙනවා.”