hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06



ආසියානු කලාපය තුළ, වැඩිහිටි ජනගහනයේ වර්ධන වේගය ඉහළම රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මෙම තත්ත්වයත් සමඟ වයස්ගත ප්‍රජාව මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු, විශේෂයෙන්ම “ඇද වැටීම්” බරපතල අවදානමක් ලෙස ඉස්මතු වී තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය මෙම තත්ත්වය සංඛ්‍යාත්මකව පැහැදිලි කළාය.

“ලංකාවේ 2012 වසරේ පැවති සංගණනයට අනුව, වයස අවුරුදු 60ට වැඩි ජනගහනය පැවතියේ 12%ක් ලෙසයි. නමුත් 2024 වන විට එය 18% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අපගේ පුරෝකථනයන්ට අනුව, 2040 වන විට මෙරට ජනගහනයෙන් 25%ක්, එනම් සෑම පුද්ගලයින් හතර දෙනෙකුගෙන්ම එක් අයෙකු වැඩිහිටියෙකු වනු ඇත. ආසියාවේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී, වැඩිහිටි ජනගහනය වැඩිවීමේ ඉහළම ශීඝ්‍රතාවයක් සහිත රටක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා.

උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාම සහ නව උපත් අනුපාතය පහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී තිබෙනවා,” යනුවෙන් වෛද්‍යවරිය සඳහන් කළාය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න මහතා, වැඩිහිටි ප්‍රජාව තුළ සුලබව දක්නට ලැබෙන “ඇද වැටීම්”, වර්තමානයේදී රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බව අවධාරණය කළේය.

“සංඛ්‍යාලේඛනවලට අනුව, වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන්ම එක් අයෙක් වසරක් තුළදී ඇද වැටීමකට ලක්වෙනවා. වයස අවුරුදු 80 ඉක්මවූවන්ගෙන් අඩක්ම වසරක් තුළ ඇද වැටෙනවා.

බොහෝ දෙනෙක් මෙය රෝගයක් ලෙස නොසැලකුවත්, දැන් එය රෝගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඇද වැටීමකින් පසු තුවාලයකට ප්‍රතිකාර කළත්, එයට හේතුව කුමක්දැයි අපි සොයා බලන්නේ නැහැ.

වයසට යනවිට ඇද වැටීම සාමාන්‍ය දෙයක් ලෙස සිතුවත්, එය එසේ නොවේ. ඇද වැටීම යනු රෝගයක්. එය මරණයට පවා හේතු විය හැකියි. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ‘දුබලතාවය’යි. මෙම දුබලතාවය නිවැරදිව පරීක්ෂා කර, අවශ්‍ය පියවර ගැනීමෙන් බරපතල සංකූලතා වළක්වා ගත හැකියි,” යනුවෙන් විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: