hit counter

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා

2025 පෙබරවාරි 19, ප.ව. 3:34



අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් වෙඩික්කරු හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇතැයි පොලීසිය පැවසීය.

ගණේමුල්ල සංජීව විත්තු කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කළ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ කණ්ඩායම් 5ක් යටතේ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නීතිඥවරු භාවිත කරන ‘අපරාධ නඩු විධාන සංග්‍රහය’ නම් ග්‍රන්ථයේ පිටු ගිනිඅවියේ හැඩයට කපා ඉතා සූක්ෂම ලෙස අපරාධකරුවන් ගිනිඅවිය අධිකරණය තුළට රැගෙන විත් තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ ගණේමුල්ලේ කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගියේය.
 
කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: