hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:04



මෙරට ආර්ථික සංවර්ධනය විධිමත් සැලැස්මකට අනුව කටයුතු කිරීම නව රජ‌යේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇති බව ද ඇය අවධාරණය කළා.

අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතනවල නිලධාරින් විසින් මේ වන විට ආයතනවල වත්මන් තත්ත්වය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ආයතනවල ඇතිවී ඇති ගැටලු පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළ බව සඳහන්.

මෙහිදී අන්තර්ජාතික වෙළඳාම දියුණු කිරීම, ආහාර සුරක්ෂිතභාවය, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිලෙහි විනිවිදභාවය, ලංකාවට ආනයනය කරන පාරිභෝගික භාණ්ඩ වල ගුණාත්මකභාවය, අපනයන භාණ්ඩවල තත්ත්වය හා ප්‍රමිතිය, කර්මාන්තකරුවන්ගේ ව්‍යාපෘති සඳහා ණය ලබාදීම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව සපයාදීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම වැනි කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශ නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මෙහිදී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෑම ආයතනයක් පිළිබඳව වෙන වෙනම විමසා බැලූ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ආයතන තුළ හඳුනාගත් ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදෙන ලෙසටයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වෙනමම අධිකාරියක් පිහිටුවීම හා ආහාර සුරක්ෂිතභාවය සඳහා පනතක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු බව සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, ආර්ථික සංවර්ධනය සඳහා ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සාමූහිකව, විධිමත් සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කෙරුණා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: