hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2024 මාර්තු 27, පෙ.ව. 12:08



අවදානම් කාණ්ඩ ලෙස සැලකෙන කුඩා දරුවන් ගර්භනී මාතාවන් වැඩිහිටියන් සහ දීර්ඝ කාලීන ලෙඩ රෝගවලින් පසුවන්නන් මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ තවදුරටත් වඩාත් සැලකිලිමත් වීම අනිවාර්යයැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

අධික රස්නයට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසුවා.

පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය හට ගැනීමෙන් ක්ලාන්ත ගතිය, සිහි නැතිවීම, වලිප්පුව වැනි රෝගි තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළා.

මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජලය සහ තැඹිලි, දෙහි, සුප් වැනි ලවණ සහිත ද්‍රව්‍ය හැකි තරම් පානය කළ යුතු බවත් දීපාල් පෙරේරා මහතා කියා සිටියා.

එමෙන්ම නවතා ඇති මෝටර් රථ තුළ කුඩා දරුවන්, සුරතල් සතුන් රඳවා තැබීමෙන් ඔවුන්ගේ ජීවිත පවා අහිමි වීමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කළා.

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්ට දහඩිය බිබිලි කුෂ්ට ආදිය ඇතිවිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවැසුවා.

දවසට කිහිප වතාවක් ජලයෙන් සේදීම සහ තෙත රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කිරීමෙන් මෙම තත්වය අවම කර ගැනීමට හැකි බවත් ඔහු සඳහන් කළා.

වැඩිම අව් රශ්මිය පතිත වන්නේ පෙරවරු එකොළහේ සිට පස්වරු දෙකයි තිහ දක්වා බැවින් එම කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම අවම කර ගැනීම අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: