hit counter

2025 අගෝස්‍තු මස 13 වන බදාදා

2025 අගෝස්‍තු 13, පෙ.ව. 9:57



පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන් ගත කර තප්පර 30ක් ඇතුළත මාඳුරුඔය ජලාශයට කඩා වැටීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී එය පැදවූ ගුවන් නියමුවා ශාක්ෂි ලබාදී තිබේ.

තමා පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය තම පාලනයෙන් මිදී හදිසියේම පහතට ගමන් කළ බව ගුවන් නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී පවසා තිබේ.

එම හෙලිකොප්ටර් අනතුරින් ගුවන් හමුදා සහ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් හය දෙනෙකුට දිවි අහිමිවිය.

හෙලිකොප්ටර් යානය පාලනයෙන් මිදී මාදුරුඔය ජලාශයට කඩා වැටුනේ තමාගේ වරදකින් නොවන බවට විශ්වාස කරන බව තවදුරටත් සාක්ෂි දෙමින් ප්‍රධාන ගුවන් නියමු ප්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා පවසා ඇත.

හෙලිකොප්ටර් යානයේ ඇති වූ යම් කාර්මික දෝෂයක් නිසා එය කඩා වැටෙන්නට ඇති බවට තමා සැක කරන අතර ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.

අදාළ නඩුව මේ මස 21 දින යළි කැඳවීමට නියෝග කළ දෙහිඅතත්කණ්ඩිය මහෙස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා අනතුරින් මිය ගිය ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සහ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව්දෙනාගේ  මරණවලට හේතුව එදිනට ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කළේය.

ගුවන් අනතුර  සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට එදින ඉදිරිපත් කරන ලෙසඳ මහෙස්ත්‍රාත්වරයා දෙහිඅත්තකණ්ඩිය පොලීලිසියට නියෝග කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: