hit counter

2025 ඔක්‍තෝබර් මස 26 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:08



ඒඩ්ස් (HIV) ඇතුළු අනෙකුත් ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග බෝ කිරීමේ ඉහළ හැකියාවක් ඇති, අධි අවදානම් සහිත පුද්ගලයින් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විසිරී සිටින බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ රුධිරය මගින් සම්ප්‍රේෂණය වන මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම් වැනි අධි අවදානම් සමාජ චර්යාවන්හි නිරත මෙම පිරිස, මෙරට මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එල්ල කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම අධි අවදානම් ජනගහනය ප්‍රධාන කාණ්ඩ කිහිපයක් යටතේ හඳුනාගෙන ඇත. ඒ අනුව, නිල වශයෙන් හඳුනාගත් කාන්තා ලිංගික ශ්‍රමිකයින් 35,000ක්, සම රිසි පිරිමින් 80,000ක්, මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා පුද්ගලයින් 3,000කට අධික සංඛ්‍යාවක්, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් 3,500ක් සහ වෙරළ ආශ්‍රිතව ලිංගික සේවනයේ යෙදෙන පිරිමි 6,000ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත. මෙම කණ්ඩායම් අතරින් පිරිමි සමලිංගික සේවනයේ යෙදෙන්නන් විශාලතම අධි අවදානම් කණ්ඩායම ලෙස සැලකේ.

මේ වන විට, දිවයින පුරා HIV ආසාදිතයින් 6,000කට අධික පිරිසක් ජීවත් වන බවට ගණන් බලා තිබේ. මෙම ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක්, එනම් 40%කට අධික පිරිසක් බස්නාහිර පළාත, විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් වාර්තා වීම විශේෂත්වයකි. මීට අමතරව, ගාල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, මාතර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලද ලිංගාශ්‍රිත රෝගවල සැලකිය යුතු ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව නවතම සංඛ්‍යාලේඛන තහවුරු කරයි.

සෑම වසරකම නව HIV ආසාදිතයින් 200-250ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර, තරුණ ප්‍රජාව අතර HIV ව්‍යාප්තිය ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. විශේෂයෙන්ම වයස අවුරුදු 15-24ත් අතර තරුණ තරුණියන් අතර අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ඉහළ යාම සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැතිකම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් දිවයින පුරා පිහිටි සායන 42ක් හරහා නොමිලේ සහ රහස්‍යභාවය සුරැකෙන පරිදි උපදේශන සේවා, පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දීම සිදු කරයි. කෙසේ වෙතත්, සමාජ අපවාදයට සහ කොන්වීමට ඇති බිය හේතුවෙන් බොහෝ දෙනෙක් පරීක්ෂණ සඳහා යොමු වීමට මැලිකමක් දැක්වීම, රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේදී ඇති ප්‍රධානතම අභියෝගයක් බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: