hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 1:35



රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක පෙර සැලසුම් කළ සැත්කම් සිදු නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ මේ වනවිට රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික ඔසුසැල්වලද ඖෂධ නොමැති තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

එම මාධ්‍ය හමුවට එක්වූ එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ මේ වනවිට ඖෂධ හිඟය දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වන බවයි.

නැගෙනහිර පළාතේ මේ වනවිට ඉන්සියුලින් සොයාගත නොහැකි තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කළා.

මේ වනවිට පවතින ඖෂධ හිඟය හමුවේ දිවයිනේ රෝහල් රැසක කලින් දින ලබාදී පෙර සැලසුම් කළ සැත්කම් අත්හිටුවා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ.

මේ අතර මෙරටට අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීමේදී මාසයක් වෙනුවට එකවර මාස තුනක් සඳහා ඇණවුම් ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ අංශ වෙත ඊයේ (14) උපදෙස් දී තිබෙනවා.

මෙමඟින් ඉදිරියේදී ඇති විය හැකි ඖෂධ හා වෛද්‍ය උපකරණවල හිඟය අවම කර කර ගැනීමට හැකිවනු ඇතැයි රඹුක්වැල්ල මහතා පවසා තිබෙනවා.

ඉදිරි වකවානුව සඳහා වන ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (14) පැවැති සාකච්ඡාවකදී මේ බව පවසා තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අමතරව මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවෝ පිරිසක්ද එක්ව සිටි බව වාර්තා වෙනවා.

මෙහිදී ඉන්දියානු ණය ආධාර වැඩසටහන (Indian Credit Line) සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා උපරිම ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළට අදාළ කටයුතු ලබන මස මැද වන විට අවසන් කිරීමට හැකි හැකිවනු ඇතැයි අදාළ නිලධාරීන් මෙහිදී ඇමැතිවරයාට පෙන්වා දුන් අතර ඒ අනුව රටට වඩා ඵලදායි අයුරින් එම ආධාර වැඩසටහන උපරිම වශයෙන් යෙදවීමට අවශ්‍ය  සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමැතිවරයා උපදෙස් ලබා සි ඇති බවයි වාර්තා වන්නේ.

තවද ආසියානු යටිතල පහසුකම් සම්බන්ධ ආයෝජන බැංකුව (Asian Infrastructure Investment Bank) හා  එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය ‐ UNOPS (United Nations office for Project Services) ආධාර වැඩපිළිවෙළවල් යටතේ ඉදිරි මාස 06ක් සඳහා මෙරටට අවශ්‍ය ඔෟෂධ හා වෛද්‍ය උපකරණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට ඩොලරයේ අගය 80%කින් පමණ ඉහළ යෑම මත භාණ්ඩාගාර වෙන්කරගැනීම් ප්‍රමාදයකින් තොරව වෙන්කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ඇමැතිවරයා උපදෙස් දුන්නා.

ඉන්දියානු ණය ආධාර  වැඩපිළිවෙළ අවසන් වුවද ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළ අඩපණ නොවී ඉදිරියට කරගෙන යා යුතු බවත් ඒ සඳහා ලැබීමට නියමිත අනෙකුත් පරිත්‍යාග හා ණය ආධාර වැඩපිළිවෙළවල් වඩා කාර්යක්ෂමතාවකින් යුතුව ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලෙසද හෙතෙම පැවැසුවා.

මේ යටතේ චීන ආධාර වැඩ සටහනේ දෙවන අදියර, ලෝක බැංකුව ආධාර, AIA ඇතුළු ආධාර ලබා ගැනීමේ වැඩපිළිවෙළවල් සඳහා වන ක්‍රියාවලීන් වඩා කඩිනම් කිරීමට පියවර ගතයුතු යැයිද සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.