hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 18, පෙ.ව. 12:10



නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසර තුළදී අඩු ආදායම්ලාභී, ස්ථිර නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නාගරික නිවාස 2,500 ක් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස්කර කඩිනමින් ක්‍රියාත්මක කරමින් සිටින බව ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉදිවෙන ‘ස්ටේඩියම්ගම’ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සොයාබැලීම සදහා ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,

“දැනට ජනතාව ජීවත්වෙන නාගරික නිවාස සංකීර්ණවල සැලකිව යුතු ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. ඒ්වා නිවාසවලට වඩා කූඩු බවට පත්වෙලා. නිවසක් භාරදීමේදී බිල්ඩිමක් විතරක් නොව ජීවත් විය හැකි ජනාවාසයක් ලබාදිය යුතුයි. බිල්ඩිමක් වශයෙන් නොව සමාජමය වශයෙන් වගකීම් ඉෂ්ඨ කරන වාසස්ථානයක් ලබාදීම අමාත්‍යංශය විදියට අවධානයට ලක්වෙලා තියෙනවා. පදිංචියට පෙර ආරක්ෂාව සහ සමාජ අවශ්‍යතා, සුව පහසුව වැනි අංශ වැඩි කළ හැකිදැයි සොයා බැලුවා. මෙවැනි මහල් නිවාස තුනක් මේ වසර තුළ ලබාදීමටත් ඉදිරි දෙවසර තුළ දී කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට නව නාගරික නිවාස 7,000 ක් ලබාදීමටත් වැඩ කටයුතු කරමින් පවතිනවා. නිවාස විධිමත්ව පවත්වා ගැනීම නීතිමය ප්‍රශ්නයක් පමණක්ම නොවෙයි, පහසුකම් තියෙන තැන්වල මිනිස්සු විනය ගරුකව හැසිරෙනවා. මේ රටේ මාර්ග නීති කඩා ගමන් කරන පුද්ගලයා විදෙස් රටකට ගියවිට එහෙම හැසිරෙන්නේ නෑ. නිසි කළමනාකරණයකින් පවත්වාගෙන යාම නීතිමය ප්‍රශ්නයකට වඩා සමාජමය ප්‍රශ්නයක්. ඊට විසදුම් ප්‍රජාව බලවත් කිරීම ඇතුලේ තියෙනවා. තනි තනිව ජීවත් වූ පවුල්, මහල් නිවාස සංකීර්ණයකට පැමිණිවිට සාමූහිකව ජීවත්වීමට හැඩගැසිය යුතුයි. පොදු නීති රීති මාලාවට හුරු විය යුතුයි. ඔවුන්ගේ ප්‍රශ්නවලට සමීපව ආමන්ත්‍රණය කලහොත් පමණයි කාර්යක්ෂම බව ඇතිවෙන්නේ. රජයක් විදියට වගකීම ගන්න තමයි වැඩිපුර මැදිහත් වෙන්නේ. නීති රීතිවල යම් සංශෝධනයකට යටත්ව ඔවුන්ගේ සමාජ අවශ්‍යතාවලට ඇඩ්‍රස් කිරීමෙන් සාර්ථකත්වයට ළඟාවිය හැකියි.”

එහිදී අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ,,

“අනවසර ඉදිකිරීම් ජනතාව තනිවම කරපුවා නොවෙයි. ඒ්වාට නිශ්චිත දේශපාලන මැදිහත්වීම් තියෙනවා. ජනතාවාදී රජයක් ලෙස අපි අනවසර ඉදිකිරීම්, අනවසර ගොඩකිරීම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ආර්ථික, සමාජයීය වශයෙන් බිවැටීම් වළක්වන්න රජය විදියට මැදිහත් වෙනවා. එහිදී ඉදිරි සියලු සංවර්ධන ව්‍යාපාතිවලදී නීත්‍යානුකූල ක්‍රමවේදයන් අනුව පරිසරය රකිමින් ජනතාවාදී සංවර්ධනයක් ක්‍රියාත්මක කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: