hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 23, ප.ව. 3:42



ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ඇතුළු තවත් ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනකු අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඔවුන් අද (23) උදෑසන 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය රජයට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මෙම ඉන්දීය දූත පිරිස ඔවුන් පැමිණි ගුවන් යානයෙන් බැස ගත් වහාම කෙළින්ම කොළඹ බලා පිටත්ව යාමට පියවර ගෙන තිබුණා.

එහිදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දේශපාලනඥයන් පිරිසක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම ඉන්දීය දූත පිරිස මෙම ශ්‍රී ලාංකික සංචාරය අද (23) දිනම නිම කර සවස 06.00 ට පමණ ඔවුන් පැමිණි ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතයි.