hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:14



මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී මෙරටින් පලා ගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇති බව, අපරාධ සහ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා, විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පවසා තිබෙනවා.

එම සැකකරුවන් වෙනත් රටවලට පලා යෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් කෙරුණු ඉල්ලීමක් අනුවයි ජාත්‍යන්තර පොලිසිය මෙම රතු නිවේදන නිකුත් කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

ඉන් සැකකරුවන් කිහිප දෙනකු මේ වනවිටත් මෙරටට ගෙන්වාගෙන ඇති බවත් තවත් සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ඉන්දියාවේදීම නඩු පවරා ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එම පිරිස දැනට සිටින්නේ එරට බන්ධනාගාරයේ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්වුණා.

එමෙන්ම මරණ දඬුවම නියම වන අපරාධ සිදුකර විදේශගතව සිටින සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීමේ දී ගැටලු මතුවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

ඔහු අවධාණය කළේ, බොහෝ රටවල් මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන හෙයින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

මේ ගැටලු හේතුවෙන් මරණ දණ්ඩනය නියමවන අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීම, ජාත්‍යන්තර පොලිසියෙන් විසින් ප්‍රතික්ෂේප කළ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අවස්ථාවේදී පෙන්වා දුන්නේ.

පාතාල ලෝකයේ සියලුම නායකයන්ගේ නාමලේඛනය සහ ඔවුන්ගේ පදිංචි ස්ථාන ඡායාරූප ඇතුළු සියලු විස්තර සොයා ගෙන ඇති බවද මෙහිදි අනාවරණ කෙරුණා.

එමෙන්ම කොන්ත්‍රාත් මිනීමැරුම් කරන පාතාල කණ්ඩායම මේ වනවිට හඳුනාගෙන ඉන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පාතාලකරුවන් වැඩි දෙනකු අපරාධ මෙහෙයවන්නේ විදේශයන්හි සිට බවයි අපරාධ සහ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා, විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: