hit counter

2025 ඔක්‍තෝබර් මස 17 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:05



මෙරටින් පැන යෑමට පෙට ඉෂාරා සෙව්වන්දිට මාසයකට ආසන්න කාලයක් මතුගම ප්‍රදේශයේ සැඟවී සිටීමට පහසුකම් සලසා ඇත්තේ මතුගම සුප්‍රකට පාතාල නායකයකු විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඇයට පොලීසියෙන් සැඟවී සිටීමට මෙම පාතාල කෙරුමා විසින් සහයෝගය ලබාදී තිබේ.

කෙහෙල්බද්දර පද්මේ සහ මෙම මතුගම පාතාල නායකයා අතර පවතින සමීප සබඳතා මත ඉෂාරා සෙව්වන්දීට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් ඔහු විසින් සලසා දී ඇති බව පැවසෙයි.

එම කාලසීමාව තුළදී ඉෂාරා සෙව්වන්දි මතුගම රැඳී සිටිමින් සිය ස්වරූපය වෙනස් කරගෙන ඇත. දිගට තිබූ කොණ්ඩය කොටට කපා සිය රූප සෝභාවද වෙනස් කර ගැනීමට ඇය පියවර ගෙන ඇත.

මතුගම ප්‍රදේශයේ රහසිගත ස්ථාන කීපයක සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් මතුගම පාතාල නායකයා විසින් ඇයට සලසා දී තිබේ.

විදේශගතව සිටින මෙම පාතාල නායකයා සිය කල්ලියේ සාමාජිකයන් යොදාගෙන සෙව්වන්දිගේ සුවදුක් සොයා බලා ඇයට නවාතැන් ගෙන සිටීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බව මේ වනවිට විමර්ශනවලින් හෙළිවී ඇත.

ඉෂාරා සෙව්වන්දි මතුගම සැඟවී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත තොරතුරක් ලැබීමෙන් පසු පොලිසිය එම ප්‍රදේශය පීරමින් සෙව්වන්දි පිළිබඳ තොරතුරු සොයා ඇත.

එහෙත් ඒ වනවිටත් ඇය මතුගම ප්‍රදේශය අතහැර මාතරට පලා ගොස් තිබිණි. මාතර දින කීපයක් ගත කළ ඇය යාපනයට ගොස් එතැන් සිට මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගොස් තිබිණි.

කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අවසරය මත මෙම රැඳවුම් නියෝගය ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකරු ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් සිව් දෙනා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවේ සිටින ඉෂාරා සෙව්වන්දි, ජේ. කේ. බායි, සුරේෂ් තක්ෂි යන සැකකරුවන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: