hit counter

2026 ජනවාරි මස 19 වන සඳුදා

2026 ජනවාරි 19, ප.ව. 2:43



දෙමාපියන් පිරිසක් විසින් තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර ඇත.

06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සැළකෙන සංවිධානයක් මගින් මව්පියන් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

මෙම නිහඩ විරෝධතාව අද (19) පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ.

තවද තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර ඇත. පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක එම විරෝධතා පැවැත්වෙන බව සදහන් කරයි.

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා ප්‍රකාශ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින ගැටලුව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිව එම දෙමාපියන් විරෝධතාවයේ නිරතව සිටින බවයි.

එමෙන්ම මේ පිළිබඳව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඇතිවු ගැටලු නිවැරදි කර ගනිමින් නව සංශෝධන හරහා ඉදිරියට ගෙන යා යුතු බව වේ.

මේ අතර ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය සංවිධාන කළ පන්දම් විරෝධතාවක් රුවන්වැල්ල කන්නත්තොට ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ පවත්වා ඇත .

එම ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාකරුවන්ට බාධා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක්ද ඇතිව තිබේ .