hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2025 ජූනි 17, පෙ.ව. 12:06



කොළඹ මහ නගර සභාවේ පැවති මංගල සභා වාරයේදී ඉදිරිපත් වූ නාම යෝජනා අතරින් ඡන්ද 61ක් ලබාගනිමින් කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය බවට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්විය.

2025 වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීමට ජාතික ජන බලවේගයේ කොළඹ කණ්ඩායම් නායිකාව ලෙස, කොළඹ මහ නගර සභාවේ තිඹිරිගස්යාය කොට්ඨාසය නියෝජනය කරමින් ජයගත් ඇය අවසානයේ කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය විය.

මෙතෙක් කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය හෙඹ වූ එක්සත් ජාතික පක්ෂයට මෙවර එහි පාලන බලය අහිමි වු අතර පළමු වතාවට කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණු අතර එය ඉතාම සුවිශේෂි සිදුවීමකි.

කොළඹ පුරපති සටන අවසන් කරමින් ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක් වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

පසුගිය 2018 වසරේ සිට සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කර ඇති ව්‍රායි කැලී බල්තසාර් 2021 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයෙන් ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයට එක්විය.

අනතුරුව 2023 වසරේ ජාතික ජන බලවේගයේ කොළඹ කණ්ඩායම් නායිකාව ලෙස පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වූ ඇය 2024 වසරේ පැවති මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළද ඇයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් අහිමි විය.

1985 වසරේ අප්‍රේල් මස (10) වනදා උපන් ව්‍රායි කැලී බල්තසාර් කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා අනතුරුව විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් ලබාගෙන ඇත.

තවද කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක් වන ඇය එම විෂය යටතේ තවදුරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාපති උපාධියක් හදාරමින් සිටින බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: