hit counter

2026 ජනවාරි මස 06 වන අඟහරුවාදා

2026 ජනවාරි 05, ප.ව. 1:03



තමාටත් තම පුත්‍රයාටත් කට උත්තරයක් ගැනීම සඳහා කැඳවා ඇති බවත්, මෙය පවුලකට එරෙහිව සිදු කරන දේශපාලන පලිගැනීමක් බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පොලිසිය විසින් සිදු කළ නියෝගයකට අනුව අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදීයි.

ඔහු මෙලෙස නොපැමිණහොත් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කරන බවත් පොලිසිය දැනුම් දී ඇති බව වාර්තා වුණා.

සිද්ධියට අදාළ හේතුව දැනුම් දී නොමැති බවත්, FCID ය තමාට පුරුදු තැනක් බවත් එහිදී ඔහු පවසා සිටියා.

ඔහු එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ,

“මේක අලුත් තැනක් නෙවෙයි. මේ සම්පූර්ණ දේශපාලන පළිගැනීමක්. මේ මුළු පවුලක්ම හිර කරන්න හදන්නේ. කිසිම සාක්කියක් නැතුව අවුරුදු 10ක විතර පැරණි නඩුවකට මගේ දරුවෝ දෙන්නව අරගෙන ඉවරවෙලා මාව අරගෙන අලුත් අවුරුද්ද දවසේ කරපු එක දවසේ සැලසුමක් වෙන දෙයක් නෙවෙයි. මේවට ලක්ෂ ගණන් වියදම් කරනවා ආණ්ඩුව, මේ මඩ ගහන්න. කිසි වරදක් කරලා නෑ, මගේ දරුවෝ දෙන්න වරදක් කරලත් නෑ, මම වරදක් කරලත් නෑ. ඒ නිසා අපිම් මේකට මුහුණ දෙනවා…”

එහිදී ඔහු සඳහන් කළේ, මේ සඳහා තමා බිය නොවන බවත්, මේ සඳහා යුක්තිය සාධාරණත්වය ඉටු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ වී ඇති අතර එම සිද්ධියට සම්බන්ධව සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා ඊයේ (04) දින අත්අඩංගුවට ගනු ලැබුවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල වකවානුව තුළදී සතොස ආයතනයේ ලොරි රථයක් එතනෝල් සමාගමක රාජකාරි සඳහා යෙදවීමට ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුට කූඨ ලේඛන සකස් කර දුන් බවට එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණා.

ඔහුව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් විසින් විමර්ශන ආරම්භ කර තිබූ නමුත්, ඔහු සිටින ස්ථානයක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: