hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 10, ප.ව. 8:09



ළහිරු වීරසේකර අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් නිළධාරීන් විසින් ඔහුට තර්ජනය කර පහර දීමකට සමාන ක්‍රියාවක් සිදුකර ඇති බව ඔහුගේ නීතිඥයන් පවසනවා.

ඒ අනුව ”මරනවා නම් මරණ හැටිත් අපි දන්නවා” යනුවෙන් පොලිස් නිළධාරීන් ප්‍රකාශ කර ඇති අතර ළහිරු වීරසේකරගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා හිරිහැර කිරීමක්ද සිදුකර ඇති බවයි නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ,

“අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ළහිරු වීරසේකරට පහරදීමක් සිදුවෙලා තියෙනවා. අපි මානව හිමිකම් එකට පැමිණිලි කළා. ඒ ගැන පොලීසියෙන් කරුණු විමසමින් යනවා.”

කෙසේ වෙතත් පහරදීමක් සිදු නොවූ බවයි පොලිසිය පවසන්නේ.

කෙසේවෙතත් මේ වනවිට ළහිරු වීරසේකරට ඇප නියම කර තිබෙනවා.

අරගලකරුවන් ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර තිබුණා.

එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදී ළහිරු වීරසේකරව මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත්තේ.

ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේයි.