hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 21, පෙ.ව. 9:57



එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දුන් ඔත්තුකරුවන් ඝාතනය කිරීම සඳහා ඉන්දියාවේ සිට සැලසුම් සකස් කළ බව කියන සැකකරුවෙකු නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නියෝග කළා.

සෙල්ව පාක්කියන් සුදාකරන් නමැති මුත්තූර් ප්‍රදේශයේ පදිංචි සැකකාර පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව ත්‍රිකුණාමලයේ හිටපු ප්‍රාදේශීය නායකයෙකු වන ඉලෙක්කියන් මාස්ටර් නමැති පුද්ගලයෙකු සමග මෙම සැකකාර පුද්ගලයා 2019 වසරේදී ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වූවා.

මෙරට යුද්ධ ගැටුම් පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දුන් ඔත්තුකරුවන් ඝාතනය කිරීම සඳහා ඉලෙක්කියන් මාස්ටර් නමැත්තාට අවශ්‍යතාවක් තිබී ඇති බවත් ඒ අනුව ඔහු සමග ඉන්දියාවට ගොස් සිටි සෙල්වර් පාක්කියන් සුදාකරන් නමැති සැකකරු හරහා ඔහු එම සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබී ඇති බවට ද එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට පැවසුවා.

ඒ අනුව, ඉලෙක්කියන් මාස්ටර් නමැත්තා සමග ඉන්දියාවේ රැඳී සිටි සැකකාර සෙල්ව පාක්කියන් සුදාකරන් නමැත්තා දුරකතන ඇමැතුම් හරහා ඔහු දන්නා හඳුනන මෙරට රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකුට හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු සිවුදෙනෙකු මෙම සැලසුම සඳහා සම්බන්ධ කරගෙන ඇති බවට කරුණු අනාවරණය කරගත් බව ද පොලිසිය අධිකරණයට දැන්වුවා.

යුද්ධ ගැටුම් පැවැති කාලයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව තොරතුරු ලබා දුන් ඔත්තුකරුවන් ඝාතනය කිරීම සඳහා උතුරුකරයේ වළ දමා තිබෙන බෝම්බ ඇතුළු අවි ආයුධ යොදා ගන්නා ලෙස එම සිවු දෙනාට දැනුම් දෙන ලෙස ඉලෙක්කියන් මාස්ටර් නමැත්තා සැකකාර සෙල්වර් පාක්කියන් සුදාකරන් නමැත්තාට දැනුම් දී ඇති බව ද ඒ අනුව සුදාකරන් ඒ බව එම සිවු දෙනාට දුරකතන මගින් දැනුම් දී ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

මෙම සැලසුම සම්බන්ධයෙන් ඔත්තුකරුවෙකු මගින් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව ඉහත සඳහන් සැකකරුවන් දෙදෙනා හා සැකකාරියන් දෙදෙනා බෝම්බ කිහිපයක් හා පිස්තෝල 3ක් සමග අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සැලසුම පිළිබඳව තොරතුරු අනාවරණය කර ගත් බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

මෙම සිදුවීමට අදාළ සෙල්ව පාක්කියන් සුදාකරන් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා යොමු කළ වරෙන්තුවකට අනුව ඉන්දියාව එම සැකකාර පුද්ගලයා මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තෙමසක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බව ද මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට දැන්වුවා.

මීට පෙරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා සැකකාරියන් දෙදෙනා මේ වන විට ඇප මත මුදාහැර තිබෙන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට ත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.