hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 02, ප.ව. 12:44



කොළඹ, පිටකොටුවේ සිට පෑලියගොඩ නගරයේ සුපිරි ගොඩනැඟිල්ලකට 2020 වසරේදී ස්ථාන මාරුවක් කළ මැනිං වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් මේ වන විට ගැටලු රාශියකට මුහුණපා ඇතැයි එම වෙළෙඳ සංකීර්ණයේ අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වෙනවා.

එම ස්ථානයේ ව්‍යාපාරයේ නිරත නම හෙළි කිරීමට අකමැති ව්‍යාපාරිකයෝ පිරිසක් වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මෙසේ පැවැසූවා.

මූලිකම ප්‍රශ්නය තමයි මාර්කට් එක වටේම ඉන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් කණ්ඩායම් වශයෙන් එකතු වෙලා ව්‍යාපාරිකයන් අතරමඟදී බියගන්වලා මංකොල්ලකන එක.

එක තැනකින් එළවළු මල්ලක් අරන් වාහනේට දාලා අනිත් මල්ල අරන් එනකොට ලොරියේ දාලා ගිය එක උස්සලා. මේ වෙනකොට ත්‍රිරෝද රථ පහක් හයක් අතුරුදන්. යතුරුපැදි හතකට වඩා උස්සලා තියෙනවා. පාපැදි නම් ගණන් කරන්න බැරි තරම් හොරකම් කරලා තියෙනවා.

පොලිසියේ ඇන්ටි්‍ර දාලා වැඩක් නෑ. සමහර අහිංසක මිනිස්සු පොලිසි යන්නෙත් නෑ. ගියාට වැඩක් නෑ කියලා.

මේ අවට ඉන්න ප්‍රදේශවාසීන්ගෙන් සමහරු බලහත්කාරයෙන් ඇවිත් මාර්කට් එකේ වතුර පයිප්පයෙන් නානවා. රෙදි කඳු ගණන් ගෙනැත් හෝදනවා. ඒ විතරක් නෙවේ වැසිකිළි පාවිච්චි කරන්නත් මාර්කට් එකට එනවා. උදේට මාර්කට් එක කඩිගුලක් වගේ කලබලයි. කලින්දා බඩු ලොරි අරන් එන ව්‍යාපාරිකයන් ගමේ මිනිස්සු වැසිකිළි ගිහින් එනකන් පෝලිමේ ඉන්න ඕනේ. මේ ප්‍රශ්න ගැන කතා කරන්න කෙනෙක් නෑ. මේවාට අපි විරුද්ධ වුණාම අපිට වෙන්නේ පරුෂ වචන අහන්න.

පෑලියගොඩ නගරය අරක්ගත් මත්ලෝලීන්ට මැනිං මාර්කට් එක හොරකම් කරන්න උල්පතක් බවට පත්වෙලා. අක්කර දොළහක පමණ භුමියක හදපු රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයකට ආරක්‍ෂාවක් නැද්ද කියලා ඔබ අපෙන් ඇහුවා. නැත්තේ නෑ. තියෙනවා. ඒත් කියන්න කනගාටුයි ඒ ගැන. ආරක්‍ෂක නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් කොහොමද සල්ලි ගෙවලා පාර්කින් එකේ දාලා යන වාහන හොරු ගෙනියන්නේ.

අපි සංගමයක් වශයෙන් මේ ස්ථානයට කුලී කම්කරුවන් වශයෙන් දිනපතා සේවයට එන අයට නිල ඇඳුමක් දුන්නා. මොකද පිටස්තර අය වෙන්කරලා හඳුනාගන්න. එහෙම කළේ උදේට මාර්කට් එකට පිටස්තර අයට ඇතුළුවීම මඟඅහුරන්න. ඒ පරීක්‍ෂාවන් කළේ සතියයි. ඒකත් අසාර්ථකයි. මේ වෙනකොට අපේ මාර්කට් එකට එන ව්‍යාපාරිකයොත් පාරිභෝගික ජනතාවත් යන දෙපාර්ශ්වයම අඩුයි. මේ ප්‍රශ්න මේ විදිහට යද්දී නාගරික සංවර්ධන අධිකාරිය මේ වසරේ ඉඳලා 50%කින් කඩ කුලී වැඩි කරලා.

වෙළෙදාමක් නැතිව අසරණ වෙච්ච අපි අද කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. මේ මාර්කට් එක කොළඹ තියෙන කාලේ ඉඳලා අවුරුදු ගාණක ඉතිහාසයක් තියෙන පරම්පරා කඩ හිමියන්ගෙන් අසූවකට වඩා පිරිසකට මේ වෙනකම් කඩ දීලා නෑ. ඒ අය අද කඩ අහිමිව මහපාරට වැටිලා ඉන්නේ.

ඒත් ඇමැතිවරයා පහළොස් දෙනකුගෙන් යුත් නම් ලිස්ට් එකක් එවලා තියෙනවා කඩ කාමර ඉල්ලලා. ඒ වගේම පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රිවරු කීපදෙනෙකුත් කඩ ඉල්ලුම් කරලා තියෙනවා. මැනිං මාර්කට් එකේ යතුරුපැදියකට රුපියල් 40ක්, ත්‍රිරෝද රථයකට රුපියල් 60ක්, කාර් එකට රුපියල් 100ක්, ලොරියට රුපියල් 200ක් රථ ගාල් ගාස්තුව අය කරනවා. ඒත් කමක් නෑ වාහනයට නිසි ආරක්‍ෂාව දෙනවා නම්.

පාර්ක් එකේ නවත්තලා යන වාහන බඩු අරන් එනකොට හොරු අරන් ගිහින්. ඉතින් දැන් මේ ව්‍යාපාරිකයොත් පාරිභෝගිකයොත් මාර්කට් එකේ කඩ ඉස්සරහා වාහනේ නවත්වන්න පටන් අරන්.

නාගරික සංවර්ධන අධිකාරිය මේ ප්‍රශ්නවලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ. මැනිං මාර්කට් එකේ ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විස්සක්, පොලිස් මුරපොළක්, ඒ වගේම පෞද්ගලික ආරක්‍ෂක අංශයත් තියෙනවා. මේ අය ඔක්කොම බැලුවොත් නිලධාරීන් හතළිහක් විතර වෙනවා. ඒත් මත්ලෝලීන් දෙතුන්දෙනකුට පුළුවන් නම් මේ නිලධාරීන් ඔක්කොගෙම ඇස් වහලා හොරකම් කරන්න මෙතැන ආරක්‍ෂාව ගැන තවත් මොන කතාද?