hit counter

2024 නොවැම්‍බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 28, පෙ.ව. 9:53



දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ සොයා බැලීමට හා ඒ වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමේ කටයුතු නිරීක්‍ෂණය කොට කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (නොවැ 26) දින සවස එම ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත විය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ යුද හමුදාපති, නාවික හමුදාපති, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් ද අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශ කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ඒ අතුරින් මන්නාරම හා ඒ අවට ප්‍රදේශය වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. දැනට එම ප්‍රදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් ස්ථාපිත සුරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත ගොස් එහි ක්‍රියාත්මක සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, විශේෂයෙන්ම කුඩා ළමුන්, කාන්තාවන් සහ වැඩිහිටි ප්‍රජාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ලෙසත් විපතට පත් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.

මන්නාරම දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාල නිලධාරින්ගේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීමේ අරමුණින් මේ වන විට ආපදා සහන  මධ්‍යස්ථාන 25 ක් ක්‍රියාත්මක වන අතර, ආපදාවට පත් අයවලුන් වෙනුවෙන් කඩිනම් සහන සැලසිමට කටයුතු කර ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (නොවැ. 27) දින පෙරවරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරින් මෙන්ම ආපදාවන්ට ලක් වී ඇති ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. දැනට පවතින තත්ත්වය හා එහි ඉදිරි ප්‍රවණතා මෙන්ම පවතින ආපදා තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින සහන සැලසීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදි අවධානයට ලක් කරන ලදි. එමෙන්ම ජීවිත හානි වැළැක්වීම සඳහා මුදා ගැනීමේ කටයුතු මෙන්ම අවතැන් වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන කටයුතු සැලසීම කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඔහු අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

අනතුරුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේ දි පවතින කාලගුණික තත්වයේ වැඩිවීමක් සිදුවුවහොත් ඉන් පිඩාවට පත් ජනතාවගේ සංඛ්‍යාත්මක වර්ධනයක් ඇති විය හැකි බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථාන වල පහසුකම් වැඩිකිරීමටත් කටයුතු යොදා ඇති බව තවදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම සුරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන ජනතාවගේ දේපල වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද දැනුම් දුන්නේය. තවද අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි  අවතැන් වූ ජනතාව වෙත අවශ්‍ය සහනාධාර කඩිනමින් හා විධිමත්ව සැපයීම සඳහා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආදි අත්‍යවශ්‍ය සේවාවන් සියල්ල ඒකාබද්ධව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෙම මාධ්‍ය හමුවේ දි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මිට අමතරව නායයෑම් හෝ වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව විශේෂ අවධානයකින් කටයුතු කල යුතු බවද කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ආපදාවකට ලක් වී ඇති අවස්ථාවකදී ඒ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත හදිසි ඇමතුම් අංක 0112 136 222 / 0112 670 002 හෝ 117 හදිසි ඇමතුම් අංක ඔස්සේ දැනුම් දීමට කටයුතු කරන ලෙසද ජනතාව වෙත දැනුම් දී සිටි.

Example Image