hit counter

2025 මැයි මස 02 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 1:07



මාතලේ මහ නගර සභාවට අයත් ගලි බවුසරය අදාල පාරිභෝගික සේවාවන් සඳහා කුලියට ලබා දීමේ දී අය කළ රුපියල් තුන්ලක්ෂ හැටපන් දහස් එකසිය විසිපහක (365125) ක මුදලක් නගර සභා ආදායමට බැරකර නොමැති බව විගණන පරීක්ෂාවකදී හෙළිව තිබෙනවා.

මාතලේ මහ නගර සභාව මගින් වෙනත් සේවා වලට අදාළව මුදල් ලබා ගැනීමේදී නිකුත් කළ බිල්පත් කුවිතාන්සි අංක වංචනික ලෙස සටහන් කර අදාල පාරිභෝගික ගලි සේවා 56 ක් වෙනුවෙන් අයකළ මුදල් මෙලෙස නගර සභා ගිණුමට බැරකර නොමැති බව විගණන විමසුමේදී අනාවරණව ඇත.

මහ නගර සභාව මගින් 2022 ඔක්තෝම්බර් සිට 2023 ජූනි මාසය දක්වා මාස නවයක කාලයක් තුළදී ගලි බවුසරය කුලියට දීම සම්බන්ධව විගණන පරික්ෂාවේදී මෙම තොරතුරු හෙළිව තිබෙනවා.

එම ගලි සේවාව ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ තැනත්තන් අදාළ සේවාව ලබාගත් බවට අත්සන් තබා තිබීම, පරිපාලක මහතා පරීක්ෂණ සටහන් යෙදීම හා එම සේවාව ලබා දීමට අදාළ ගේට්ටු අවසරපත් නිකුත්කර තිබීම තුළින් අදාළ සේවාව සපයා ඇති බව තහවුරු වන නමුත් ඒ වෙනුවෙන් අයකළ මුදල් නගර සභා ගිණුමට බැරවී නොමැති බවද විගණනයේ දී ආනවරණය වී තිබෙනවා.

මහ නගර සභාව මගින් ගලි බවුසරය කුලියට ලබාදුන් බවට තහවුරු වූ අවස්ථා 18 කට අදාළ ඉල්ලුම්පත් ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේ විෂය පථය සීමා වූ බවත් මේ හේතුවෙන් නියමිත ගාස්තු ආදළ සේවා ලාභීන්ගෙන් අය කළේ ද අයකළ මුදලම නගර සභා ගිණුමට බැර කළේද යන්න පිළිබඳව නිශ්චිත තහවුරුවක් කිරීමට නොහැකි වූ බවත් ඉල්ලුම්පත් ගොනු නිසි පරිදි නඩත්තු නොකිරීම හා අධීක්ෂණය නොකිරීම මගින් මුදල් අවභාවිතයට අවස්ථාවක් සැලසී තිබූ බවත් විගණනයේ දී නිරීක්ෂණය වී තිබෙනවා.

සේවා ලාභීන් නගර සීමාවේ පදිංචිව සිටීනම් අය කරන ගාස්තු අඩු වන අතර ව්‍යාපාරික ස්ථානයක් හෝ නිවසක් වෙනුවෙන් අය කරන ගාස්තුද එකිනෙකට වෙනස්ය.

මෙසේ තිබිය දී ගලි සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් ගේ පදිංචිය වරිපනම් විස්තර ලේඛණය අනුව තහවුරුකර නොගෙන ගාස්තු අයකර ඇති බවද ගලි බවුසරයෙන් කුලී අයකර ගැනීමේ ලේඛනය කිසිදු අධීක්ෂණ නිලධාරියෙකු යටතේ අධීක්ෂණයට ලක්නොවී තිබෙන බවද විගණන විමසුමේ සඳහන් කර ඇත.

එක් එක් සේවාව සැපයීම සඳහා වෙන වෙනම ගේට්ටු අවසර පත් ලබාගෙන ඒ අනුව අදාළ සේවාව සැපයීමට දවසට අදාළ සියලුම ගේට්ටු අවසරපත් එකවර ලබාගෙන පෙරවරුවේ පිටත්වන ගලි රථය නැවත පස්වරුවේ පැමිණ තිබෙන බව විගණනයේ දී නිරීක්ෂණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විගණන අධිකාරිවරයා මාතලේ මහ නගර සභාවේ කොමසාරිස්වරයා ගෙන් කරුණු විමසා තිබෙන අතර එහි පිටපත් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් හා මාතලේ පළාත් පාලන සහකාර කොමසාරිස් වෙත යොමුකර ඇත.                

මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී මාතලේ මහ නගර සභාවේ නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.