hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 මාර්තු 13, ප.ව. 1:15



රට ගොඩ නැගීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ලබා දුන් 69 ලක්ෂයේ ජනවරම කිසිවෙකු හෝ ජනපති රනිල් වික්‍රමසිංහගේ පාමුල තබන්නේ නම් එය එම ජනවරමේ පාරිශුද්ධභාවය මුළුමනින්ම කෙලෙසීමක් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.                             

මහනුවරදී  මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළ අභයතිස්ස හිමියෝ සඳහන් කළේ එම ජනවරම රනිල් වික්‍රමසිංහගේ පාමුල තැබීම සඳහා ගෝඨාභයට, බැසිල්ට, මහින්දට හෝ කිසිදු අයෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් එසේ කරන්නේ නම් එය රටට ජනතාවට සිදුකරන ද්‍රෝහීකමක් බවයි.                                                               

තවදුරටත් අදහස් පළ කළ අභයතිස්ස හිමියෝ මෙසේද සඳහන් කළා.

“දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමා තනතුරෙන් පන්නපු ආකාරය පිළිබඳ පොතක් ලියල තියෙනවා. හැබැයි අපිට සැකයක් තියෙනවා එයා පන්නපු කුමන්ත්රණකරුවන්  නිසැකවම හඳුනාගෙනද මේ පොත ලිව්වේ කියලා.  ගෝඨාභයට එරෙහි කුමන්ත්‍රණය සඳහා පසුබිම සකස් කරගත්තේ එයාලම තමයි. ඒ වෙලාවේ බිම් මට්ටමේ ජනතාවගේ හඩට ඇහුම්කත් නොදීමත් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට බලපෑ හේතුවක් වුණා. මේ කුමන්ත්රනකරුවෝ අදටත් ඉන්නේ එයාලගේ ඔඩොක්කුවේම තමයි. කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරපු සමහර අය එයාලගේ පවුලේමයි ඉන්නේ. අදටත් ඉන්නවා. පොත් ලියන්න ඉස්සර වෙලා මේවා හරියට තේරුම් ගන්න ඕනේ. ජනතාවගේ ශුද්ධ ජනවරම අපයෝජනය කරනවා නම් මේ රජය පත්කළ අපිටත් වගකීමක් තියෙනවා . ඒ වෙනුවෙන් එරෙහි වෙන්න. රනිල් එළවන්න තමයි අපි ගෝඨාභයව බලයට ගෙනාවේ.

ඒ ජනවරම ජනතා අපේක්ෂාවන්ට විරුද්ධව පාවිච්චි කරනවා නම් ඒ අය රටේ ජනතාවට වග කිව යුතුයි. මේ ජනවරම රනිල්ගේ පාමුල ගිහින් තියන්න නෙවෙයි ජනතාව වරම දුන්නේ. ඒ ශුද්ධ ජනවරම තමන්ගේ පැවැත්ම සඳහා රනිල්ගේ දෙපා මුල තබනවා නම් ඊට වඩා ද්රෝහී කමක් නෑ.දේශපාලඥයෝ බලයට පත්වූ දවසේ ඉඳලා කරන්නේ තමන්ට බලයට පත්වෙන්න උදව් කළ මැති ඇමතිවරුන්ට හිතවතුන්ට වරප්රසාද දෙන එකයි. එහෙම දීලා ඊළඟ ඡන්දයට එයාලගේ සහාය ගන්න එක තමයි හිතන්නේ. අපිට රට වැදගත් වුණාට මේ අයට රට ගැන වැදගත්කමක් නෑ. තමන්ගේ බලය පවත්වාගෙන යෑම විතරයි එකම අභිප්‍රාය. අපි මේ දේශපාලනඥයන්ට බල කරන්න ඕනේ මේ බොරුව නවත්තන්න කියලා. ඉදිරියට මේ රටේ තත්ත්වය තවත් උග්ර අතට පත් වෙනවා. රට තවත් දුප්පත් උනාම තෙල්, ගෑස් පෝලිම් හදන්න, රට ගිලගන්න ජාත්යන්තරයට පහසුයි.ඉන්දියානු ව්‍යාප්තවාදය කියන බූවල්ලා මේ වන විටත් රටේ කොටසක් ගිලගෙන ඉවරයි. ඉතිරි කොටසත් ගිලිනකම් අපිට බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ ඉන්දියානු ව්යාප්තවාදයට, එට්කා ගිවිසුමට, රට පාවාදීමට එරෙහි මහා සංඝ සම්මේලනය හෙට (14) පස්වරුවේ මානෙල්වත්ත  විහාරස්ථාන ශ්රවණාගාරයේ පවත්වනවා. මේ මහා සංඝරත්නයේ හඬ රට පුරාම අරගෙන යනවා. 

අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව ජාත්යාන්තර මූල්ය අරමුදල දිහා  බලාගෙන අතපාලා ණය අරගෙන එදිනෙදා කාලා  ජීවත් වෙනවා ඇරෙන්න වෙන කිසි දෙයක් වෙන්නේ නෑ. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් පේන්නවත් නෑ. මේ දවස් ටිකේ අපායට යන පාර කාපට් කරලා දෙපැත්තේ මල්ගස් හිටවනවා. අපායට යන පාර රළු පරළු වුණත් කාපට් කරලා තිබ්බත් යන්නේ අපායට. ඒක තමයි ඇත්ත. මේ රටේ තියෙන දේවල් විකුණන් කනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ. මේ රටේ සම්පත් විකුණන්න එපා කියලා මහානායක හිමිවරු පවා පාලකයන්ට ලිඛිතව දැනුම් දුන්නා. මේ ඊනියා රජය කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව රටේ සම්පත් විකුණන්න පිඹුරු පත් සකසලා ඉවරයි. ජන වරමට පටහැනිව රනිල් කටයුතු කරනවා නම් ගෝඨාභයට, මහින්දට, බැසිල් ඇතුළු කණ්ඩායමට යුතුකමක් තියෙනවා ඊට එරෙහි වෙන්න.

නමුත් මේ ඔක්කෝටම වඩා බල ලෝභය ප්‍රභලයි. ඉන්දියාවේ ගිහිල්ලා තෝසේ වඩේ කෑවා කියලා  ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්ද මේ රටේ භෞතික සම්පත් කොල්ලයට ඉඩදී නිහඬව ඉන්න. ජනතා විමුක්ති පෙරමුණ  අප සමග සාකච්ඡා කළා. මේ රටේ ඓතිහාසික උරුමය සුරැකීම, බුද්ධාගම සුරැකීම, විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය අපි විමසුවා. ඇතැම් ප්රශ්නවලට ඔවුන් නිරුත්තර වුණා. විධායක ජනාධිපති ක්රමය තියෙන්නේ 13 වන ව්යවස්ථාව එක්ක ගැටගැහිලයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම්  ඊට ප්රථමයෙන් පළාත් සභා ක්රමය අහෝසි කළ යුතුයි. උපරිම වශයෙන් බලය බෙදිය යුතුයි ඒත් රට බෙදන බලය බෙදීමක් අවශ්ය නෑ. අපි කියන කාරණා සලකා බලා ප්රගතිශීලීව කටයුතු කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ වුවත් බලයට ගෙන ඒමට අපට ජනතාව ඉදිරියට  එන්න පුළුවන්. මේ රට රැක ගැනීමේදී නිල්, කොළ, රතු පාට භේදයක් අපිට නෑ. මේ රට පාවාදීමට කිසිවෙකු හෝ ප්රයන්ත දරනවානම් ඔහුට නිගා කොට  පන්නා දැමිය යුතුයි. පෙර කල මෙන් රට  ගොඩ නැගීම සඳහා සුදුසු අයෙක් පත් වෙන බව අපට විශ්වාසයි එසේ නොමැති නම් එවැනි අයෙක් පත් කිරීම සඳහා අවශ්ය සියලු කැපවීම් කළ යුතුයි, ඒ වෙනුවෙන් 14 දින මහා සංඝරත්නය පළමු පියවර තබනවා. ඉන් අනතුරුව මේ ජාති හිතෛෂී හඬ රට පුරා රැගෙන යනවා. “ යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවා.

Example Image