hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 ජූනි 06, ප.ව. 2:23



මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය 01 වෙනිදා වට්ස්ඇප් ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ වීඩියෝ පටයක් හා හඬපටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට නම් රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව සඳහන් කරමින් විහාරාධිපති හිමියන් පැමිණිල්ලක් කර තිබෙනවා.

විහාරාධිපති හිමියන්ගේ යැයි පැවසෙන හඬ පටයක් හා වීඩියෝ පටයක් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අයකුගේ නමින් ඇති මුහුණු පොතේ පළ කර පසුගිය දෙවැනි දා ඒවා ඉවත් කර ගෙන ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ සඳහන්.

කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන මුහුණු පොතේ මෙම හඬ පටය හා වීඩියෝව මේ වන විට පළ කර ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වනවා.

එම කාන්තාවගේ නම ද විහාරාධිපති හිමියන් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයා සහ මෙම කාන්තාව ගැන ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.