2025 ජනවාරි 23, ප.ව. 2:40
රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද විවේචනාත්මක පාලි ව්‍යාකරණ ග්‍රන්ථය ”නාමාමාලා” කෘතිය පාත්ෆයින්ඩර් පදනමේ නැවත මුද්‍රණයක් වශයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ගිහි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් නිකුත් කෙරිණ.
නාමමාලා පළමු පිටපත පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආචාර්ය, නියංගොඩ විජිතසිරි හිමිපාණන් වෙත පිරිනැමීය.
1870 දී මෙම කෘතිය පළමු වරට මුද්‍රණය කර ඇති අතර දෙවැනි මුද්‍රණයක් 1965 වසරේ දී පළ කරන ලද බව දැක්වේ. අමරපුර සම්බුද්ධ ශාසනෝදය පාර්ශවයේ මහානායක ස්වාමීන්වහන්සේ ආචාර්ය අති පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් රාජගුරු ශ්‍රී සුභූති හිමිපාණන් ගේ නාමමාලා කෘතිය අලූත් මුද්‍රණයේ පිටපත සංකේතයක් වශයෙන් පාත්ෆයින්ඩර් පදනමට පිරිනැමීම ද මෙහි දී සිදුවිය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති මෙම අවස්ථාවට ගිහි පැවැදි විශාල පිර්සක් සහභාගී වූ අතර වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාන්ඩේ මහතා විශේෂ ආරාධිතයා වශයෙන් පැමිණ සිටියේය.
අති පූජ්‍ය වෙ`ඩරුවේ උපාලි, ජ්‍යෙශ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල, මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත, අග්ග මහා පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද, ආචාර්ය මාදම්පාගම අස්සජී, පණ්ඩිත නිකපොත ඡන්දජෝති සහ අති පූජ්‍ය වලේබොඩ ගුණසිරි ඇතුළු නායක හා අනුනායක ස්වාමීන්වහන්සේලා මෙම අවස්ථාව නියෝජනය කළහ.
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආචාර්ය, නියංගොඩ විජිතසිරි හිමිපාණන් මෙහි දී විශේෂ දේශණයක් කරමින් පාලි භාෂාව සතු ඓතිහාසික වැදගත්කම හා පෙරදිග භාෂාවක් වශයෙන් අධ්‍යයනය කරනු සදහා බටහිර ජාතීන් දැක්වූ නැඹුරුව මෙහි දී අනාවරණය කළහ.
ජ්‍යෙශ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල, හිමිපාණන් දේශනයක්කරමින් මෙසේ පැවසූහ. ”පැරණි පුස්කොළ පොත සොයමින් ඒවායේ පාලි වදන් සකස්කරමින් රට පුරා විවිධ විහාරස්ථානවලට පා ගමනින් ම යෑමට සිදු ව ඇත. එසේම මෙහි සදහන් සමහර කෘතිවල ග්‍රන්ථ නාමය පවා නෂ්ටව තිබී ඇත. මෙහි සදහන් බොහෝ ග්‍රන්ථ බුරුම බසින් ලිය වී ඇති ඒවා බැවින් ඒවා එරටින් ගෙන්වා ගෙන මෙම කටයුත්ත මහත් අසීරුවෙන් සිදු කොට ඇත. එසේම මෙහි සදහන් ඇතැම් පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ගැන මෙම කෘතියෙන් සපයා ඇති තොරතුරුවලට පරිබාහිරව වසර ගණනාවක් ඉක්ම ගිය ද මෙතෙක් නව අනාවරණයන් ද සිදුව නොමැත. එසේම ඇතැම් ග්‍රන්ථවල කාලවකවානු හා කර්තෘත්වය පිළිබදව නව ආවිෂ්කරණයන් සමගින් දැනුම යාවත්කාලීන වී ඇත.”
නාමමාලා ග්‍රන්ථයේ දෙවන කාණ්ඩය වන ශබ්දමාලා කාණ්ඩය ද සුවිශේෂී ලක්ෂණ කීපයකින් යුක්ත වේ. අපට හුරු පුරුදු නාම වරනැගිල්ලේ ඇති නාමවලට අමතරව සමානව වරනැගෙන තවත් බොහෝ නාම මෙහි අන්තර්ගත කොට ඇත. මෙම පරිච්ඡේදය අවසානයේ බුද්ධ ශබ්දය මෙන් වරනැගෙන ශබ්ද 1000 ක අර්ථ දක්වා ඇති අතර, ඒ ශබ්දවල විශේෂ තැන් උද්ධෘත ක්‍රමය නිදසුන් සහිත ව පෙන්වා තිබීම ප්‍රශස්ථ වෑයමකි. මෙහි එන ඇතැම් ශබ්ද පෙළෙහි නැති බැව් ද, තවත් ඇතැම් ශබ්ද පෙළ අටුවා දෙකෙහි ද නැති බැව් ද දක්වා ඇතැම් ශබ්ද ව්‍යාකරණ ග්‍රන්ථවල පමණක් ඇති බව විචාරාත්මක පෙන්වා දී ඇත. බුද්ධ ශබ්දයේ ඇති විශේෂ රූප පෙන්වා දෙමින් කරන විස්තරය පාළිභාෂාව පිළිබදව කතුවරයාගේ සියුම් අවබෝධය ප්‍රකට කෙරෙන අවස්ථාවක් වන අතර වර්තමානයේ දී මෙම කෘතියේ අගය මැනැවින් අවධාරණය කෙරෙන බව ද හිමිපාණෝ සදහන් කළහ.
නාමමාලා සම්පාදනය සදහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දක්වන ලද අතර මෙරට සියළුම පිරිවෙන්, විහාරස්ථාන හා විශ්ව විද්‍යාල ඇතුළු පාලි අධ්‍යයනයට ලැදියාවක් දක්වන්නන්ට නාමමාලා කෘතිය නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
2025 ජූනි 02, පෙ.ව. 12:08
2025 ජූනි 02, පෙ.ව. 12:07
2025 ජූනි 02, පෙ.ව. 12:06
2025 ජූනි 02, පෙ.ව. 12:04
2025 ජූනි 02, පෙ.ව. 12:03