hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09



මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් තුන්සීයක් වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

”මේ මාස 6ට විතරක් 300ක් මේ වෙනකොට වැඩ තහනමට ලක්වෙලා තියෙනවා. එහෙම වැඩ තහනමට ලක් වෙන්නේ තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා හැඟීමක්, දැනීමක් නැති තැන. 

සමහර අය අවුරුදු 25ක් සේවයේ ඉඳලා තමන්ගේ තනතුර අහිමි කරගෙන, විශ්‍රාම වැටුප අහිමි කරගෙන සිරගත වන අවස්ථා අපි දැකලා තියෙනවා. 

අපේ පාලක ජෙනරාල්වරයාට, පොලිස්පතිවරයාට, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට… මුලට තියෙනවා වැඩබලන කියලා. 

ඇයි වැඩබලන ඇවිල්ලා තියෙන්නේ. ආගමන පාලක ජෙනරාල්වරයා සිරගත වෙනවා, පොලිස්පතිවරයා සිරගතවෙලා ඇප පිට ඉන්නවා, බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ගෙම බන්ධනාගාරයේ බන්ධනාගාර ගතවෙලා ඇප පිට නිදහස් වෙලා ඉන්නවා. 

දැන් මේ ප්‍රධාන ආයතනවල ඉන්නේ වැඩ බලන තනතුරු තියාගෙන. ඇයි එහෙම වෙන්නේ?. අපි ආයතනයක රැකියා ලබනකොට ඒක රැකියාවක් විතරක් හැටියට සිතුවොත්, ඒක අපේ තාවකාලික අවස්ථාවක් හැටියට හිතුවොත්…එවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. 

ඒ හින්දා අපි රජයක් හැටියටත්, තරාතිරම කුමක් වුවත් ඒ හැම තරාතිරමක කෙනෙකු නීතිවිරෝධි කටයුතු කරන සෑම අවස්ථාවකම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: