hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 7:51



අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2023 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිළි කිරීමක්  සිදුකර තිබෙනවා.

2023. අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඔක්තෝබර් මස පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර තිබුණ ද 2022 අ.පො.ස. (උසස් පෙළ) සමීක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා අදාළ විභාගය පැවැත්වීමට නියමිත බවට පූර්ව දැනුම්දීමක් 2023.07.17 දින සිදුකළ බව එමගින් පෙන්වා දෙයි. 

එමෙන්ම 2023 අ.පො.ස. (උසස් පෙළ) ප්‍රථම වතාවට පෙනී සිටින සිසුන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටියේ 2021 මාර්තු වන බවත් එහි ප්‍රතිඵල 2021 සැප්තුම්බර් මස නිකුත් වූ බවත් එහි සඳහන්.

ඔවුන් අ.පො.ස. (උසස් පෙළ) පන්තිවලට 2021 දෙසැම්බර් 20 දින වනවිට ඇතුළත් ව ඇති අතර ඒ අනුව 2023 නොවැම්බර් 24 වන විට පාසල් දින 343ක් පවත්වා විෂය ආවරණය කටයුතු සිදු කිරීමේ හැකියාව ඇති බව ද පෙන්වා දී ඇත.

දරුවන්ගේ වයස සලකා කඩිනමින් විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබා ගැනීම දෙමාපිය අපේක්ෂාව වන බැවින් සිසුනට ද හැකි ඉක්මනින් විභාගවලට පෙනී සිට ප්‍රතිඵල ලබා ගැනීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වන විට 2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අයදුම්පත් කැඳවා තිබෙනවා.

මේ අතර දැනට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 323,913 ක් වන අතර පෙර වර්ෂයේ දී එනම් 2022 වර්ෂයේ අයදුම්කරුවන් සංඛ්‍යාව 331,709ක් වේ.

ප්‍රතිඵල නිකුත් කළ පසු ද දෙවන හෝ තෙවන වතාවට පෙනී සිටින සිසුන් ට අයදුම් කිරීමට අවස්ථාව ලැබෙන බවත් මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මගින් මාර්ගගත ක්‍රමයට අවස්ථාව ඒ සඳහා ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර 06ක් හිමිවන නමුත් මෙම සිසුනට නොවැම්බර් 24 දක්වා දින 343 ක කාලයක් තුළ පාසල් වාර 07ක් ඉගෙනුම් කටයුතු සඳහා හිමි වන අතර අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ පාසල් ශිෂ්‍යයන්ගේ පැමිණීම 80% සිට 40% දක්වා අඩු කර තිබෙනවා.

එමෙන්ම පාසල්වලින් ලබා ගත් තොරතුරු අනුව විෂය නිර්දේශය ආවරණය වී ඇත.

වැඩිදුරටත් අදහස් දවමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ රටේ මතු වූ තත්ත්වය හා විවිධ ගැටළුකාරී තත්ත්ව මත වසා දමන ලද පාසල් ආරම්භ කිරීමෙන් පසුව සිසුන්ගේ සාමාන්‍ය නිවාඩු කාලය ද අවම වන සේ උපරිම දින ගණනක් අධ්‍යාපන කටයුතුවල නියැලීමට ඉඩ ලැබෙන පරිදි පාසල් පැවැත්විය හැකි දින ගණන තීරණය කර ඒ අනුව කටයුතු කර ඇති බැවින් සිසුනට ගැටළුකාරී තත්ත්වයක් ඉස්මතු නොවන බවයි.

දැනට යෝජිත විභාග කාල සටහන හා වාර සටහන නැවත සංශෝධනයක් සිදු වුවහොත් අති බහුතරයක් වූ සිසුන් ප්‍රමාණයකට අසාධාරණයක් සිදු වන අතර එමගීන් සමස්ත සිසුන්ගේ මානව හිමිකම් කඩවන බවට දෙමාපියන්ගේ සහ සිසුන්ගේ අදහස වී ඇති බවද එම නිවේදනයෙන් කියා සිටියා.

අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස 04ක පමණ කාලයක් ගත වෙනවා.

කෙසේ වෙතත්, මෙවර විභාගය පෙබරවාරි 17 දින අවසන් වුව ද අදාළ පාර්ශ්ව සහභාගි නොවීම හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට සිදු වූයේ මැයි 20 දින වන අතර එදින සිට ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය එම නිවේදනය මගින් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: