hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 09, පෙ.ව. 12:02



කොළඹ පිටකොටුවේ පිහිටි ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන භාණ්ඩාගාරික විජිත උබේවර්ණ මහතා පැවසූවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම එළැඹෙන වසරේ ජනවාරි හෝ පෙබරවාරි වන විට සිදුනොවන්නේ නම් නැවත අරගලයක් සිදුකරන බවයි.

එම සංවිධානය පවසන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බවට ජනාධිපතිවරණයට පෙර පැවසූවත් ඔහු දැන් ක්‍රියා කරන්නේ එවැනි යමක් නොපැවසූ ආකාරයට බවයි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත උබේවර්ණ,

”අද රාජ්‍ය සේවකයන්ට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඔවුන් ජීවත් වන්නේ බොහොම අමාරුවෙන්. අපි කියන්නේ නැහැ මේ තුන්දෙනෙක් ඉන්න ආණ්ඩුවකින් වැටුප් වැඩි කරලා දෙන්න කියලා. අපි කියන්නේ නව රජයක් පත් වුණාම මැතිවරණයෙන් පසු අපේ ඉල්ලීම් ඉටු කරන්න කියල.ා එහෙම නැති වුණොත් අපි පාරට බහිනවා ”

මෙහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර ද මෙසේ පැවැසීය.

” ජනාධිපතිවරයා කිව්වා පවතින ආර්ථික තත්ත්වය සමග බලලා වසරේ මාස හයෙන් හයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධන කරනවා කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් සඳහන් වෙලා තිබුණා ඒ ගැන. අපි කියන්නේ රටේ ආර්ථික තත්ත්වය බල බල හිටියොත් නම් වැටුප් වැඩි කරන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා රටක් විදියට ඉදිරියට යනකොට වැටුප් ගැටලුවටත් ඒ එක්කම පිළිතුරු දෙන්න කියන එක අපි ඉල්ලනවා. අපි දන්නවා රාජ්‍ය සේවකයන්ට නිශ්විතව වැටුප් වැඩිකළේ 2015 විතරයි. මේ වෙද්දී අවුරුදු නවයක් ගිහින් තාම වැඩි කරලා නැහැ. මීට පෙර රට පාලනය කළ ආණ්ඩු කළේ දීමනා දුන්න එක විතරයි රාජ්‍ය සේවකයන් රවටන්න. නමුත් නිශ්චිත වැටුප් වැඩිවීමක් වෙලා නැහැ ”