hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 02, පෙ.ව. 7:07



පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව යටතේ ලියාපදිංචි කරන පුද්ගලික වෛද්‍ය ආයතනවල ලියාපදිංචිය ප්‍රදර්ශනය කරමින් නාම පුවරු ඉදිකිරීම නියාමන සභාවේ කාර්යභාරයක් නොවුනද ඉකුත් වර්ෂ 11 තුලදී අලුත් නාම පුවරු සකස් කිරීම හා පැරණි නාම පුවරු නැවත සැකසීම සදහා නියාමන සභාව විසින් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂ අසු පන්දහස් එකසිය දෙකක මුදලක් (17,085,102) වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

පනත මගින් බලය ලැබි ඇති කටයුතු සදහා පමණක් මුදල් වියදම් කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

එමෙන්ම මෙරට පුද්ගලික වෛද්‍ය ආයතන 2011ක් ඉකුත් වර්ෂය තුල (2021) ස්ථාපිත කර තිබුනද එම වර්ෂය තුල  පුද්ගලික වෛද්‍ය ආයතන 817 ලියාපදිංචි කොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

ඉකුත් වර්ෂය තුල ස්ථාපිත කොට ඇති වෛද්‍ය ආයතන 2011න් පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි කොට ඇත්තේ වෛද්‍ය ආයතන1194ක් පමණක් බව ද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

2020 හා 2021 යන වර්ෂවල පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් වෛද්‍ය ආයතන රැසක් වසා දමා තිබු බවත් එම නිසා  වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරිම සදහා අයදුම් කිරිම අඩු වීම නිසා ලියාපදිංචිය අඩු වී ඇති බව නියාමන සභාව මගින් විගණනයට සදහන් කොට තිබෙනවා.

නියාමන සභාව විසින් සිදු කරනු ලබන සියලු මිලදි ගැනීම් නිසි ක්‍රමවේදයකට අනුව විනිවිදභාවයකින් සිදුකර ඇති බවද නියාමන සභාව විගණනයට සදහන් කොට තිබෙනවා.

භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් දැන්විම් පලකොට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම  ආරම්භ කොට ඇති බවද නියාමන සභාව පවසනවා.

පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.

ලලිත් චාමින්ද